2025 අවසානයේදී මධ්‍යම රජයේ ණය ඩොලර් මිලියන 100,356ක් දක්වා පහළට


රාජ්‍ය ව්‍යවසාය සතු ණය ඩොලර් මිලියන 3,484ක් දක්වා පහළට


විදේශීය ණය අතරින් බහුපාර්ශ්වීය ණය සියයට 38ක්, ද්විපාර්ශ්වීය ණය සියයට 28ක් සහ වාණිජ ණය සියයට 34ක්


2025 දෙසැම්බර් 31 වන විට ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 103,861ක් බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2025 සිව්වැනි කාර්තුව සඳහා නිකුත් කරන ලද රාජ්‍ය ණය පිළිබඳ නවතම වාර්තාවක සඳහන් වේ. 
2025 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ තෙවැනි කාර්තුව විට මෙම අගය ඩොලර් මිලියන 106,611ක් ලෙස වාර්තා විය. ඒ අනුව 2025 සිව්වන කාර්තුවේ දී රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 2,750කින්, එනම් සියයට 2.57කින් පහළ යාමක් සටහන්ව තිබේ.
මෙම රාජ්‍ය ණය තුළ මධ්‍යම රජය විසින් නොපිය වූ ණය, රාජ්‍ය ව්‍යවසාය විසින් ගෙවිය යුතු ණය සහ පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් ගෙවිය යුතු ණය ඇතුළත්ව ඇත.
ඒ අනුව 2025 සිව්වන කාර්තුවේ දී මධ්‍යම රජයේ ණය ඩොලර් මිලියන 102,204 සිට ඩොලර් මිලියන 100,356ක් දක්වාත්, රාජ්‍ය ව්‍යවසායයන් හි ණය ඩොලර් මිලියන 4,386 සිට ඩොලර් මිලියන 3,484ක් දක්වා ත් පහළ ගොස් තිබේ. එසේම පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් ගෙවිය යුතු ණය ඩොලර් මිලියන 21 මට්ටමේ පවතී.
මේ අතර, මධ්‍යම රජයේ ණය සැලකීමේ දී 2025 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ සිව්වැනි කාර්තුවේදී දේශීය ණය ඩොලර් මිලියන 64,966 සිට ඩොලර් මිලියන 62,693ක් දක්වා ඩොලර් මිලියන 2,273 කින් පහළ ගොස් ඇති අතර, විදේශීය ණය ඩොලර් මිලියන 37,238 සිට ඩොලර් මිලියන 37,663ක් දක්වා ඩොලර් මිලියන 425 කින් ඉහළ ගොස් තිබේ.
මෙහිදී රජය සතු සමස්ත විදේශීය ණය අතරින් 38 ක්ම බහුපාර්ශ්වීය ණය වන අතර, සියයට 34ක් වාණිජ ණය සහ සියයට 28ක් ද්විපාර්ශ්වික ණය ලෙස සටහන්ව තිබේ. මෙම බහුපාර්ශ්වීය ණය යටතේ සියයට 82ක්ම ලබාදී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව මගිනි. ද්විපාර්ශ්වීය ණය යටතේ සියයට 59ක් පැරිස් සමාජයට අයත් නොවන රාජ්‍යයන් ගෙන් වන අතර, සියයට 41ක් පැරිස් සමාජයට අයත් රාජ්‍යයන් ගෙන් ලබා ගෙන තිබේ. මීට අමතරව වාණිජ ණය අතරින් සියයට 81කට ආසන්න ප්‍රමාණයක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ලෙස පවතී.