ආදායම් ඉලක්කය වුණේ රුපියල් බිලියන 165.94ක් රුපියල් බිලියන 168.17 ක ආදායමක් උපයලා මෙම වසරේ අදායම් ඉලක්කය පසුගිය වසරේ ආදායම් ඉලක්කයට වඩා සියයට 13.5 කින් පහළ දමලා

විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකා රේගුවේ නවතම දත්ත වාර්තාවලට අනුව මෙම මස ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 165.94 මුදල පළමු දින 22 තුළදී උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව ඇත.
මෙම මස පළමු දින 22 ක තුළදී රුපියල් බිලියන 168.17 ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබිණි. පසුගිය මාසයේදීද ශ්‍රී ලංකා රේගුව සිය ආදායම් ඉලක්කය සියයට 45 ක පමණ ප්‍රතිශතයකින් පසුකරනු ලැබුවේය. පසුගිය මාසයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 160.24 ක් වූ අතර මාසය අවසන් වනවිට එම ඉලක්කය සැලකිය යුතු අන්දමින් පසුකර යමින් රුපියල් බිලියන 232.55 ක අදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකියාව ලැබී තිබුණේය.
 
එය රුපියල් බිලියන 72 ක පමණ ආදායමේ සැලකිය යුතු වර්ධනයකි. ශ්‍රී ලංකා රේගුව මෙම වසරේදී රුපියල් බිලියන 2,206 ක ආදායමක් උපයා ගැනීමට ඉලක්ක කර ඇති අතර ඉන් සියයට 17.8 ක ප්‍රතිශතයක් පළමු දින 50 තුළදී උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකියාව ලැබී ඇත. 
මෙම වසරේදී වාහන ආනයන පහළ යනු ඇතැයි අපේක්ෂා කිරීම මෙම වසරේ අදායම් ඉලක්කය රුපියල් බිලියන 2,206 දක්වා පහළ දැමීමට හේතුවී තිබේ.
මෙම වසරේ අදායම් ඉලක්කය පසුගිය වසරේ ආදායම් ඉලක්කයට වඩා සියයට 13.5 ක ප්‍රතිශතයකින් පහළ දමා ඇත. 
පසුගිය වසරේදී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,241 ක් වූ අතර පසුගිය වසර අවසාන වනවිට ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 2,551 ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබිණි.