• දින 22ට රුපියල් බිලියන 175.4ක ආදායමක් රැස් කරලා

ශ්‍රී ලංකා රේගුව සඳහා 2026 ජනවාරි මාසයේදී ලබාදී තිබූ ආදායම් ඉලක්කය මුල් දින 22 තුළදී සම්පූර්ණ කිරීමට සමත්ව ඇතැයි පවසයි. එහි නිල දත්ත අනුව ජනවාරි 22 වැනිදා වනවිට රුපියල් බිලියන 175.4ක ආදායමක් රැස් කරගැනීමට සමත්ව තිබේ. මෙහිදී ජනවාරි මාසය සඳහා එම ආයතනය වෙත ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 160.2 කි. ඒ අනුව මෙම ඉලක්කයට වඩා රුපියල් බිලියන 15.2ක් වාර්තා කිරීමට රේගුව සමත්ව තිබේ.

2025 වසරේදී ශ්‍රී ලංකා රේගුව සිය එතෙක් මෙතෙක් වාර්තා කළ වැඩිම වාර්ෂික ආදායම රැස් කිරීමට සමත්වූ අතර, එහිදී රුපියල් බිලියන 2,551 ක් රැස් කෙරිණි. කෙසේ වෙතත් 2025 වසර සඳහා ලබාදී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,241 ක් විය. මේ අතර 2025  රැස් කරගත් ආදායම 2024 වසරේ හිමි වූ රුපියල් බිලියන 1,553 ක ආදායමට හා සැසඳීමේදී සියයට 64.2ක වර්ධනයකි.