• 2024 තෙවැනි කාර්තුව හා සැසඳීමේදී සියයට 16 ක ඉහළ යාමක් ජීවිත රක්ෂණයේ බදු පෙර ලාබය පහළ යද්දී සාමාන්‍ය රක්ෂණයේ බදු පෙර ලාබය ඉහළට
භානුක අමරසිංහ 
2025 වසරේ තෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට රක්ෂණ ක්ෂේත්‍රය සතු වත්කම්වල වටිනාකම රුපියල් 1,350,481,145 ක් (ට්‍රිලියන 1.35ක්) ලෙස සටහන්ව තිබේ. 
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් ඉදිරිපත් කර ඇති 2025 තෙවැනි කාර්තුව සඳහා වන සංඛ්‍යා දත්තවල මේ බව සඳහන් කෙරී ඇත. 
මෙය 2024 වසරේ තෙවැනි කාර්තුවේදී පැවැති රුපියල් 1,164,503,482 ක (ට්‍රිලියන 1.16ක) වත්කම් හා සැසඳීමේදී රුපියල් 185,977,663 ක (රුපියල් බිලියන 186ක එනම් සියයට 16ක ඉහළ යාමකි. 
මේ අතරින් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය සතු වත්කම් ප්‍රමාණය 2025 තෙවැනි කාර්තුව වන විට රුපියල් ට්‍රිලියන 1.02 ක් ලෙස සටහන්ව ඇති අතර, සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ එය රුපියල් බිලියන 310.6 ක් සහ ප්‍රතිරක්ෂණ ක්ෂේත්‍රයේ එය රුපියල් බිලියන 13ක් ලෙස සටහන්ව තිබේ. 
මෙහිදී ජීවිත රක්ෂණ අංශය සතු වත්කම් ප්‍රමාණය 2024 වසරේ තෙවැනි කාර්තුවේදී පැවැති රුපියල් බිලියන 873 හා සැසඳීමේදී සියයට 13ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ යටතේ රජයේ සුරැකුම්පත් තුළ ආයෝජනය (16%කින්), කොටස් ආයෝජන (16%කින්), ප්‍රතිරක්ෂණ ලැබීම් (20%කින්) සහ මුදල් සහ මුදල් සමානකම් තුළ ආයෝජන (139%කින්) ඉහළ යාම් මේ සඳහා හේතුව වී තිබේ. 
එසේම සාමාන්‍ය රක්ෂණය සතු වත්කම 2024 වසරේ තෙවැනි කාර්තුවේදී පැවැති රු. බිලියන 279 හා සැසඳීමේදී සියයට 11ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මේ යටතේ පරිපාලිත සමාගම් තුළ ආයෝජන (6%කින්), සම්බන්ධිත සමාගම් තුළ ආයෝජනය (75%කින්), කොටස් තුළ ආයෝජනය (81%කින්), සාංගමික ණය (27%කින්) ඒකක භාර ආයෝජනය (89%කින්) සහ තැන්පතු (16%කින්) වර්ධනය වීම ඊට හේතුව වී තිබේ.
 
ප්‍රතිරක්ෂණ ක්ෂේත්‍රයේ වත්කම්ද 2024 වසරේ තෙවැනි කාර්තුවේදී පැවැති රුපියල් බිලියන 12.45 හා සැසඳීමේදී සියයට 10ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ යටතේ රජයේ ණය සුරැකුම්පත් තුළ ආයෝජනය (30කින්) ඉහළ ගොස් තිබේ. 
2020 වසරේ සිට 2024 වසර දක්වා මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ වත්කම් පිළිවෙළින් රුපියල් බිලියන 796 ක්, රුපියල් බිලියන 890 ක්, රුපියල් බිලියන 950 ක්, රුපියල් ට්‍රිලියන 1.13ක් සහ රුපියල් ට්‍රිලියන 1.21 ක් ලෙස කැපීපෙනෙන වර්ධනයවීමක් පෙන්නුම් කර තිබේ. 
මේ අතර 2024 වසරේ එම කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ තෙවැනි කාර්තුවේදී රක්ෂණ ක්ෂේත්‍රය හිමිකරගත් බදු පෙර ලාබය (PBT) යටතේ, ජීවිත රක්ෂණ ව්‍යාපාරය රුපියල් බිලියන 18.3ක සිට රුපියල් බිලියන 17.2ක් දක්වා රුපියල් මිලියන 1,188 කින්ද, ප්‍රතිරක්ෂණ ව්‍යාපාරය රුපියල් බිලියන 1.63 ක සිට රුපියල් බිලියන 1.19ක් දක්වා රුපියල් මිලියන 440කින්ද ලාබයේ අඩුවීමක් වාර්තා කර තිබේ. 
එහෙත් සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය රුපියල් බිලියන 15.04ක සිට රුපියල් බිලියන 18.98ක් දක්වා රුපියල් මිලියන 3,941 ක බදු පෙර ලාබයේ වැඩිවීමක් වාර්තා කර තිබේ.