- ඒකක භාර ආයෝජකයන් වෙත සවිස්තරාත්මක ආදායම් සහතික නිකුත් කිරීම අනිවාර්යයි
- අහිතකර බලපෑම් ඇති නොවන ලෙස පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කරන බව UTASL පවසයි
භානුක අමරසිංහ
ලබන අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇති යෝජිත දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම් පත හරහා ඒකක භාර හෙවත් යුනිට් ට්‍රස්ට් ආයෝජන වෙත ඇති වන බලපෑම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරන බව ශ්‍රී ලංකා ඒකක භාර සංගමය (UTASL – Unit Trust Association of Sri Lanka) පවසයි.
ඒ අනුව හඳුන්වාදී ඇති නව සංශෝධන පනත් කෙටුම්පත යටතේ මෙම ඒකක භාර ආදායම් බදු සම්බන්ධ මධ්‍යස්ථ ආයතනයක් ලෙස හඳුන්වාදී තිබේ. එහිදී ඒකක භාර මත බදු අය නොකිරීමක් සිදු කරන බවත්, බදු ගෙවීමේ වගකීම ආයෝජනය කර ඇති ඒකක භාර හිමියන්ට පැවරීමක් සිදු වන බවත් එම සංගමය සඳහන් කරයි.
“ඒ අනුව වඩාත් විනිවිදභාවයකින් යුතුව ආයෝජකයන්ට තම බදු වගකීම නිවැරදිව ඉටු කිරීමට පහසුකම් සැලසීම වෙනුවෙන් ඒකක භාර විසින් ආයෝජකයන් වෙත සවිස්තරාත්මක ආදායම් සහතික නිකුත් කිරීමට මෙම නව සංශෝධනය මගින් අනිවාර්යය කර තිබෙනවා.” යනුවෙන් එම සංගමයේ සභාපති ජීවන් සුකුමාරන් මහතා පවසයි.
ඒ අනුව මෙලෙස නිකුත් කරන සහතික මගින් උපයන ලද ආදායම, නිදහස් කරන ලද බදු ප්‍රමාණයන්, අඩු කරන ලද රඳවා තබා ගැනීමේ බදු සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලබන අනෙකුත් තොරතුරු විස්තර කරනු ඇතැයි සඳහන් වෙයි. එහිදී අදාළ තක්සේරු වර්ෂය අවසන් වී මාස 5ක් ඇතුළත මෙම සහතික නිකුත් කළ යුතුව තිබේ.
“යම් ඒකක භාරයක් මෙම අදායම් සහතික ලබාදීමට අපොහොසත් වුවහොත් එම ආයතනය ආදායම් බදු කටයුතු සඳහා සමාගමක් ලෙස සලකා බදු අය කිරීමට නව පනත මගින් යෝජනා කර තිබෙනවා. ඒ අනුව මේ තුළින් ආයතනය විසින් නිවැරදි තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් උනන්දු කිරීම සහ බදු පාලන පද්ධතිය ශක්තිමත් කිරීම අපේක්ෂාවයි.“ යනුවෙන් EY Sri Lanka හි බදු අංශ හවුල්කාරිණී ෂෙහානි පරණවිතාන පවසයි.
මේ අතර ඒකක භාර ඇතුළු විවිධ වර්ගයේ ආයෝජකයන් සතු ආයෝජන වත්කම් සඳහා අදාළ ප්‍රාග්ධන ලාබ බදු (කැපිටල් ගේන් ටැක්ස්) සංශෝධනයටද මෙම නව පනත මගින් යෝජනා කර තිබේ.
“කොහොම වුණත් ලැයිස්තුගත කොටස් සඳහා දැනට පවතින පොදු බදු නිදහස් කිරීම් නොවෙනස්ව පවතිනවා. ඒ නිසා ඒකක භාර සතු ලැයිස්තුගත සමාගම්වල කොටස් සඳහා මින් බලපෑමක් එල්ල නොවේවි කියලා අපි අපේක්ෂා කරනවා.” යනුවෙන්ද ෂෙහානි පරණවිතාන පවසයි.
එසේම ඒකක භාර තවදුරටත් මධ්‍යස්ථ ආයතන ලෙස පවතින්නේ නම් අනෙකුත් වත්කම් කාණ්ඩයන්ටද අදාළ ප්‍රාග්ධන ලාබ බදු හැසිරවීමේ ක්‍රමය නොවෙනස් වනු ඇතැයි යනුවෙන්ද UTASL වැඩිදුරටත් අපේක්ෂා කරයි.
කෙසේ වෙතත් මෙම සංශෝධන ක්‍රියාත්මක කිරීමට පෙර ඒකක හිමියන්ට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවන බව සහතික කිරීම සඳහා අදාළ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කර දැනුවත් කිරීමට සංගමය කටයුතු කරන බවත් ප්‍රකාශ කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd