ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකය වෙත යන ගමනේ වැදගත් පියවරක් සනිටුවහන් කරමින්, මහජන බැංකුව විසින් වවුනියාව විශ්ව විද්‍යාලය වෙත පූර්ණ ඩිජිටල් ගෙවීම් පද්ධතියක් හඳුන්වා දී ඇත.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය කේ.එල්. වසන්ත කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වවුනියාව විශ්ව විද්‍යාලයේ පැවති 32 වැනි ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ යෙදවුම් සහ කළමනාකරණය පිළිබඳ සමුළුවේදි මෙය දියත් කරන ලදි.
ඒ අනුව, වවුනියාව විශ්ව විද්‍යාලයේ නිල ඩිජිටල් ගෙවීම් හවුල්කරු ලෙස, මහජන බැංකුව ආරක්ෂිත සහ පුළුල් ඩිජිටල් ගෙවීම් පද්ධතියක් හඳුන්වා දෙන ලද අතර, ඒ තුළින් සිසුන්ට සහ පාර්ශ්වකරුවන්ට බහු ඩිජිටල් නාලිකා හරහා බාධාවකින් තොරව ගෙවීම් කිරීමට හැකිවේ. එමගින් කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ මූල්‍ය වගවීම වැඩි දියුණු වනු ඇත. මෙම මුලපිරීම රජයේ ඩිජිටල් පරිවර්තන වැඩපිළිවෙළට සමගාමි සිදුකළ අතර, මෙරට උසස් අධ්‍යාපන ආයතන තුළ ඩිජිටල් භාවිතය වර්ධනය කිරීම සඳහා පූර්වාදර්ශයක්ද වෙයි.