මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (භාණ්ඩාගාර, ජාත්‍යන්තර සහ ආයෝජන) ශමීල සේනාරත්න ලොකු කලුගේ සහ සහකාර සාමාන්‍යාධිකාරිනී (ආයෝජන) ට්‍රිමාලි ප්‍රනාන්දු


ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ණයකර නිකුතුව සාර්ථකව සිදුකරමින් මහජන බැංකුව සිය ගමන්මඟේ නව මං සලකුණක් සටහන් කරයි. ඒ අනුව  Basel III” Tier 2, ලැයිස්තුගත නොකළ, ශ්‍රේණිගත කළ, නිදහස් කරගත හැකි ණයකර නිකුතුව හරහා මහජන බැංකුව, රුපියල් බිලියන 25ක අරමුදල් රැස් කර ගැනීමට සමත්ව ඇත.
මෙම නිකුතුව ශ්‍රී ලංකාවේ ණයකර නිකුතුවක් හරහා රැස් කරන ලද ඉහළම මුදල වන අතර, ජ්‍යෙෂ්ඨ සහ ද්විතීය, ලැයිස්තුගත කළ හෝ නොකළ යන දෙඅංශයෙන්ම, ණයකර නිකුතුවක් හරහා රැස් කරන ලද ඉහළම මුදල වේ. මෙම ණයකර වසර පහක සහ වසර අටක කල්පිරීමේ කාලයක් සහිතව නිකුත් කරන ලදී.
මෙම සුවිශේෂ ගනුදෙනුව සාර්ථකව නිම කිරීම නිසා මහජන බැංකුවේ ප්‍රාග්ධන පදනම ශක්තිමත් වී ඇති අතර, එමගින් ශේෂ පත්‍රයේ ස්ථාවරත්වය වර්ධනය කිරීමට සහ තිරසාර දිගුකාලීන සංවර්ධනයට හේතු වී ඇත. එසේම විශාල වෙළෙඳපොළ අභියෝගවලට මුහුණ දෙන අසීරු අවස්ථාවක පවා, විශේෂයෙන් ලැයිස්තුගත නොකළ ණයකර සම්බන්ධයෙන් ගත් කල මෙරට වඩාත්ම විශ්වාසදායක සහ පද්ධතිමය වශයෙන් වැදගත් මූල්‍ය ආයතනයක් ලෙස මහජන බැංකුව කෙරෙහි ආයෝජකයන් තබා ඇති දැඩි විශ්වාසය ද මින් තහවුරු වේ.
මූල්‍ය අංශයේ ස්වකීය ප්‍රමුඛත්වය තවදුරටත් තහවුරු කරමින්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් ආයතනික මූල්‍ය උපදේශක බලපත්‍රයක් ලබාගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය බැංකුව වන්නේ මහජන බැංකුව වීම විශේෂත්වයකි. 
මෙම ණයකර නිකුතුව බැංකුවේ අභ්‍යන්තර ආයෝජන බැංකු අංශය වන මහජන බැංකුවේ ආයෝජන බැංකු ඒකකය (PBIBU) මගින් ව්‍යුහගත කර ක්‍රියාත්මක කරන ලද අතර, ගනුදෙනු ක්‍රියාවලිය තුළ උපදේශන සහ ක්‍රියාත්මක කිරීමේ විශේෂඥ මගපෙන්වීම් ද ඔවුන් විසින් ලබා දෙන ලදී.
මෙම ඒකකය ආරම්භයේ සිටම බැංකු, මූල්‍ය සේවා, රක්ෂණ, වැවිලි සහ රාජ්‍ය අංශය ඇතුළු අංශ හරහා පුළුල් පරාසයක ණය සහ කොටස් ගනුදෙනු කළමනාකරණය කරමින් ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
වසර ගණනාවක් මුළුල්ලෙහි, මහජන බැංකුවේ ආයෝජන බැංකු ඒකකය සුවිශේෂ ගනුදෙනු කිහිපයකට සම්බන්ධ වී ඇත. එකී ගනුදෙනු  අතර, බලපත්‍රලාභී විශේෂිත බැංකුවක සමාරම්භක ලැයිස්තුගත ණයකර නිකුතුව, මහජන බැංකුවේ පළමු ණයකර නිකුතුව, එවකට ශ්‍රී ලංකාවේ විශාලතම ණයකර නිකුතුව වූ රාජ්‍ය ව්‍යවසායක් සඳහා පුරෝගාමී ලැයිස්තුගත ණයකර නිකුතුව, අනාගත ගෙවීම් සඳහා වන විශේෂ සංචිත අරමුදල් ගිණුමක් ඇතුළත් ලැයිස්තුගත වැවිලි අංශයේ සමාගමක් විසින් නිකුත් කරන ලද පළමු ණයකර නිකුතුව සහ බැංකු නොවන මූල්‍ය ආයතනයක් විසින් නිකුත් කරන ලද විශාලතම ණයකර නිකුතුව ආදී සන්ධිස්ථානීය ගනුදෙනු කිහිපයක් ඇතුළත්ය. 
මෙම ගනුදෙනුවලින් මහා පරිමාණ ප්‍රාග්ධන වෙළෙඳපොළ මෙවලම් ව්‍යුහගත කිරීම සහ ස්ථානගත කිරීම සම්බන්ධයෙන් PBIBU සතු ප්‍රබල විශේෂඥතාව නිරූපණය වේ.
PBIBU මේ දක්වා, ණයකර ලැයිස්තුගත කිරීම් 33ක් සහ ප්‍රාථමික කොටස් නිකුතුවක් (IPO) සාර්ථකව කළමනාකරණය කර ඇති අතර, සාමූහිකව රුපියල් බිලියන 225 කට වඩා රැස්කර දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ මහජන බැංකුවේ ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට සමත්ව ඇත.
මේ වන විට 2026 වසර පළමු අර්ධයේ දී නිකුත් කිරීමට අපේක්ෂිත ණයකර නිකුත් කිරීම් ද්විත්වයක් ව්‍යුහගත කරමින් සිටින PBIBU මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ පද්ධතියේ වර්ධනය සහ සංවර්ධනය සඳහා සිය දායකත්වය අඛණ්ඩව ලබා දෙමින් සිටී.
එමෙන්ම ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවතින සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගනිමින්, ‘Global Banking and Finance Review Awards 2026’ සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වරටත් “ශ්‍රී ලංකාවේ හොඳම ආයෝජන බැංකුව” ලෙස මහජන බැංකුව ගෞරවයට පාත්‍ර විය.