මහජන බැංකුව විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයනාංශයේ ව්‍යාපාර කළමනාකරණ (ගෞරව) උපාධිය හදාරන ප්‍රථම වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා පසුගියදා පහසුකම් සපයන ලදි.

සරසවි සිසුන්ට මුල් අවධියේදිම බැංකු හා මූල්‍ය සේවා අංශය සමග අවබෝධය ලබාදීම හා එමගින් තම අධ්‍යයන දැනුම, ප්‍රායෝගික කර්මාන්ත අත්දැකීම් සමග යොදා ගැනිමේ අවස්ථාව ලබාදීම මෙහි මූලික අරමුණ අතර විය. ඒ අනුව, සාකච්ඡා සහ ක්ෂේත්‍ර චාරිකා හරහා බැංකුවේ ව්‍යුහය, කාර්යයන් සහ මෙහෙයුම් ක්‍රියාවලිය මෙන්ම නූතන බැංකුකරණයේ නැගී එන ප්‍රවණතා, අභියෝග සහ නවෝත්පාදන පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සැලසිණි.

එමෙන්ම මෙම වැඩසටහන සිසුන්ට බැංකු ක්ෂේත්‍රයේ අරමුණු, කුසලතා සහ වෘත්තීය අවස්ථා පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට උපකාරි වූ අතර, පළපුරුදු වෘත්තිකයන් සමග සම්බන්ධ වීමේ අවස්ථාව ලැබිණි.

මෙම ක්ෂේත්‍ර චාරිකාව මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ මග පෙන්වීම මත මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) මංජුල දිසානායක, සහකාර සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සංවර්ධන) උපේෂ් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු මාණ්ඩලික පුහුණු විද්‍යාලය විසින් සංවිධානය කරන ලදී. 

මෙහිදි මහජන බැංකුවේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා විසින් අනාගත බැංකු වෘත්තිකයන්ගේ නායකත්වය සහ වෘත්තීයභාවය දිරිගන්වමින් සිසුන් සමග තම අදහස් සහ අත්දැකීම් බෙදාගන්නා ලදී.

මිට අමතරව, මෙම වැඩසටහනට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන සහ ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - (ශාඛා කළමනාකරණ) නලීන් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී (බැංකු සහාය සේවා) ඉඳුමිණි රත්නායක සහ සහකාර සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) නලින් පෙරේරා යන මහත්ම මහත්මින් සැසිවාර පැවැත්වීම හා මෙහෙයුම් ක්‍රියාවලිය අධ්‍යයනය සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලදී.

මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයනාංශයේ ප්‍රධානි මහාචාර්ය අරුණි ප්‍රනාන්දු සහ කථිකාචාර්ය නෙත්මි හේරත් යන මහත්මින්ද සහභාගි වූ අතර, මෙය සංවිධානය කිරිම සම්බන්ධයෙන් ඔවුන් මහජන බැංකුව වෙත සිය කෘතවේදිත්වය පිරිනැමිය.

මහජන බැංකුව දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස සහ වගකිවයුතු ආයතනික පුරවැසියකු ලෙස සිය දැනුම බෙදා දිමට සහ ඒ තුළින් අනාගත වෘත්තිකයන් බලගැන්වීමට කැපවී සිටි.