2025 වසරේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 4,298.4 ක් 


විදේශ සංචිතය ඉහළ යෑම සහ රුපියලේ අවප්‍රමාණය වත්කම් ඉහළ යාමට හේතුවයි 


රන් වත්කමේ වටිනාකමත් රුපියල් බිලියන 15 කින් ඉහළට 


2025 වසර අවසන් වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතු මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 4,298.4 ක් බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2024 වසර අවසන් වන විට පැවැති මුළු වත්කම් ප්‍රමාණය වන රුපියල් බිලියන 3,876.1 ට සාපේක්ෂව රුපියල් බිලියන 422.4 ක එනම් සියයට 10.9 ක වත්කම් ඉහළ යාමක් ලෙස මෙය සටහන්ව තිබේ. 
මහ බැංකුව විසින් 2025 වසර සඳහා නිකුත් කළ මූල්‍ය ප්‍රකාශය තුළ මහ බැංකුවේ සමස්ත මූල්‍ය තත්වය යටතේ මෙම කරුණු ඇතුළත්ව තිබේ. 
ඒ අනුව මෙහිදී 2025 වසර තුළ විදේශීය වත්කම් රුපියල් බිලියන 365.4 කින් සහ දේශීය වත්කම් රුපියල් බිලියන 57 කින් වැඩිවීම මෙලෙස වත්කම් ඉහළ යාමට මූලිකවම බලපා ඇතැයි මහ බැංකුව පවසයි. 
එහිදී විදේශ වත්කම් ඉහළ යෑමට 2024 වසරේ පැවැති එක්සත් ජනපද ඩොලර් බිලියන 5.6ක විදේශ සංචිතය 2025 දී ඩොලර් බිලියන 6.1ක් දක්වා වැඩිවීම හේතුවී තිබේ. එසේම වසර මුලදී රුපියල් 292.58ක් ලෙස පැවැති එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වසර අවසානයේදී රුපියල් 309.99 ක් දක්වා අවප්‍රමාණයවීමත් මීට බලපා තිබේ. 
මේ අතර විදේශීය මූල්‍ය නොවන වත්කම් යටතේ වන රන් වත්කම් 2025 වසරේදී රුපියල් බිලියන 26,705,749ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 වසරේ පැවැති රුපියල් බිලියන 11,629,873 හා සැසඳීමේදී රුපියල් බිලියන 15 ක එනම් සියයට 129 ක ඉහළ යාමකි. 
මහ බැංකුවට අනුව 2024 වසරේදී රන් ට්‍රොයි අවුන්සයක් සඳහා පැවැති මිල එක්සත් ජනපද ඩොලර් 2,624.01ක් වන අතර‍, 2025 දෙසැමබර් 31 වන විට එය එක්සත් ජනපද ඩොලර් 4,318.65ක් ලෙස ඉහළ ගොස් තිබේ.