සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ව්‍යාපාර ශක්තිමත් කිරීමට සහ විදේශීය සංචාරකයන්ගේ පහසුව වැඩි දියුණු කිරීමට කොමර්ෂල් බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස, බැංකුව මාස්ටර්කාඩ් එක්ව, මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, මාර්ගගත ගෙවීම් සඳහා Dynamic Currency Conversion (DCC) හඳුන්වා දී ඇත.
 Mastercard Payment Gateway Services (MPGS) වේදිකාව හරහා සක්‍රීය කර ඇති මෙම නව DCC සේවාව මගින් ජාත්‍යන්තර බැංකු කාඩ්පත් හිමියන්ට ශ්‍රී ලාංකික වෙළෙන්දන්ගෙන් මාර්ගගත ක්‍රමයට මිලදී ගැනීම් සහ නවාතැන්වල දී තම මව්රටේ මුදල් ඒකකයෙන් ම ගෙවීම් සිදු කිරීමට ඉඩකඩ සලසා දෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙලෙස මාර්ගගත ගෙවීම් සඳහා මෙම විශේෂාංගය නිර්මාණය කර ඇත්තේ, විදේශීය සංචාරකයන්ට විශ්වාසයෙන් යුතුව වෙන්කරවා ගැනීම් හා ගෙවීම් මාර්ගගතව සිදු කිරීමේ පහසුව සලසා දීමේ හැකියාව දේශීය වෙළෙන්ඳන්ට ලබා දී ඔවුන්ට තම ව්‍යාපාර වර්ධනය කර ගැනීමට උපකාර කිරීම සඳහා යි. 
Dynamic Currency Conversion විශේෂාංගය සමගින් Mastercard Payment Gateway Services සේවාව සක්‍රීය කිරීමෙන් විශේෂයෙන් ම සංචාරක, ආගන්තුක සත්කාර සහ නවාතැන් යන ක්ෂේත්‍රවල දේශීය වෙළෙන්ඳන්ට ගුවන් ගමන්, නවාතැන්, සහ වෙනත් අදාළ සේවා සඳහා වෙන් කරවා ගැනීම් සිදු කරන විට විදේශීය ගනුදෙනුකරුවන්ට වඩාත් විනිවිද පෙනෙන අත්දැකීමක් ලබා දීමේ හැකියාව ලැබෙනු ඇත.
මෙම නවතම සන්ධිස්ථානීය ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. 
“නිතැතින් ම අපි ඩිජිටල් නවෝතපාදනයේ ඉදිරියෙන් ම සිටින අතර මෙසේ ශ්‍රී ලංකාවේ පළමු වරට මාර්ගගත ගෙවීම් සඳහා මෙම සේවාව හඳුන්වා දීම මගින් වෙළෙඳාම සහ ජාතික ආර්ථිකය කෙරෙහි අප දක්වන කැපවීම මනාව සනාථ කරයි. මාස්ටර්කාඩ් සමග ඇති මෙම සහයෝගීතාව අපගේ වෙළඳ ගනුදෙනුකරුවන් පිරිසට, තරගකාරීත්වයේ වාසිය, නව ආදායම් ප්‍රවාහ මෙන්ම ඔවුන් වෙත පැමිණෙන විදේශීය පාරිභෝගිකයන්ට විනිවිදභාවයකින් යුත් ගෝලීය මට්ටමේ ගෙවීම් අත්දැකීමක් ලබා දීමට ද අවස්ථාව උදාකර දෙනු ඇත. තවද මෙම දියත් කිරීම ඩිජිටල් ආකාරයෙන් ලැබෙන විදේශ ආදායම වැඩිපුර ආකර්ෂණය කර ගැනීමට සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ජාතික වශයෙන් දරණ ප්‍රයත්නයට සහය දැක්වීමේ තවත් තීරණාත්මක පියවරක් ද වේ.” 
DCC සේවාව අන්තර්ජාල ගෙවීම් සඳහා ද හඳුන්වා දීමෙන් බැංකුව විසින් ශ්‍රී ලාංකික වෙළෙන්දන්ට තම ගනුදෙනුකරුවන්ට ගෝලීය විද්‍යුත් වාණිජමය ප්‍රමිතීන්ට අනුකූල වූ ගෝලීය මට්ටමේ අත්දැකීමක් ලබා දීමේ හැකියාව හිමිකර දී ඇත.