ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) කනිෂ්ඨ ද්විතීයික පාසල් සිසුන් අතර මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණ ඇතිව “මධුරගේ බට නළා සිහිනය”‍ නමින් ළමා කතන්දර පොතක් පසුගියදා එළිදක්වන ලදි. මෙම පොතෙහි එක් විශේෂත්වයක් වන්නේ එහි අන්තර්ගතය භාෂා තුනෙන්ම ඉදිරිපත් කිරීම වන අතර පාඨකයාට කැමැති භාෂාවකින් එය කියවා අවබෝධ කර ගැනීමට හැකියාව ලැබීමයි. 
පාසල් අධ්‍යාපනය හදාරන දූ දරුවන් අතර ව්‍යවසායකත්වය පිළිබඳව උනන්දුවක් ඇති කිරීම මෙම ළමා කතන්දර පොත පොත ප්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණ වන අතර එය රටේ සමස්ත පුරවැසියන් තුළ මුල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කෙතාමිෂන් සභාව දරන අඛණ්ඩ උත්සාහයේ කොටසක්ද වේ.
පසුගියදා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී. බී. පී. එච්. දිසාබණ්ඩාර මහතා විසින් මෙම ප්‍රකාශනය අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත පිළිගැන්වීය.
දේශමාන්‍ය ආචාර්ය ඉන්දිරා ලිලාමනී ගිනිගේ මහත්මිය විසින් රචිත සහ ජානකී සූරියආරච්චි මහත්මිය විසින් චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කරන ලද මෙම පොත, පාසල් සිසුන් සඳහා ආකර්ෂණීය සහ වයසට ගැළපෙන සම්පතක් ලෙස ඉදිරිපත් කර ඇත. එය ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ “ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව”‍ යන විෂය හඳුන්වාදීමේ යෝජිත කොටසට අනුපූරකයක්ද වේ.
රට පුරා පාසල්වලට මෙම පොත නොමිලේ බෙදා හැරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව අදහස් කරයි. මවුපියන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙන්ම විශේෂයෙන් 6 සිට 9 ශ්‍රේණිවල සිසුන්ට මධුරගේ කතාව කියවීමටත්, අලු‍ත් කරුණු රැසක් ඉගෙනීමටත්, මග පෙන්වීමක් සහ දිරිගන්වීමක් සපයයි. දරුවන්ට තම සිහින හඹා යා හැකි ආකාරය, පුද්ගලික මූල්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගත හැකි ආකාරය, තම සම්පත් ඥානවන්තව කළමනාකරණය කළ හැකි ආකාරය සහ ඉපැයීම්, ඉතිරිකිරීම්, වියදම් කිරීම සහ ආයෝජනය කිරීමේ පුරුදු වගකීමෙන් ගොඩනගා ගත හැකි ආකාරය මෙම පොත හරහා ඉතා මැනවින් නිරූපණය කෙරේ. වැඩිහිටියන් විසින් ලබා දෙන ආදර්ශ අනුගමනය කිරීමෙන් සහ මෙම පාඩම් ඔවුන්ගේ දෛනික ජීවිතයේදී අදාළ කර ගැනීමෙන්, සිසුන්ට තනිවම යම් කාර්යයක් කිරීමට සහ සමාජයට ධනාත්මකව දායක වීමට හැකියාවක්ද මෙමලින් ලබාදෙයි.
මෙම කාර්යය හරහා, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව බලාපොරොත්තු වන්නේ සිසුන්ට ඔවුන්ගේ අභිලාෂ ගවේෂණය කිරීමට, මූල්‍ය දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමට සහ ශක්තිමත් අනාගතයට සූදානම් ශ්‍රී ලංකාවක් සඳහා මග පෑදීමට අවශ්‍ය සහයෝගය ලබාදීමයි.