• මැදපෙරදිග ගැටුම් නිසා මාර්තු මාසයේ ප්‍රේෂණ ලැබීම් අඩුවීමේ අවදානමක්

විදෙස්ගත ශ්‍රමිකයන් හරහා මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මුල් මාස දෙකේදී මෙරට වෙත හිමි වූ ප්‍රේෂණ මුදල්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් ඩොලර් මිලියන 1,480ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 වසරේ මුල් මාස දෙකේදී හිමි වූ වටිනාකම වන ඩොලර් මිලියන 1,121 හා සැසඳීමේදී සියයට 32 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර පෙබරවාරි මාසයේදී හිමි වුණු ප්‍රේෂණ මුදල්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 729ක් ලෙස සටහන්ව තිබේ. පසුගිය වසරේ පෙරබවාරියේදී එය ඩොලර් මිලියන 548 ක් විය.

කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි මාසය අගදී මැදපෙරදිග ආරම්භ වූ යුද ගැටුම් හේතුවෙන් මාර්තු මාසයේ ප්‍රේෂණ ලැබීම් වෙත යම් බලපෑමක් එල්ල වනු ඇතැයි අදහස වී තිබේ. එය 2026 වසරේ සමස්ත ප්‍රේෂණ ලැබීම් වෙතද බලපෑමේ අවස්ථාවක් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ශිරාන් ප්‍රනාන්දු මහතා, “ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රේෂණ මුදල්වලින් සියයට 40ක් පමණ පැමිණෙන්නේ මැදපෙරදිග කලාපයෙන්. පසුගිය අවුරුද්දේදී අපි දැක්කා මෙම ප්‍රේෂණ ලැබීම් ඩොලර් බිලියන 8ක් දක්වා වර්ධනය වෙනවා. එහෙත් මේ පවතින තත්වයත් සමගින් එය යම් තරමකට නැවතීමක් හෝ අඩුවීමක් සිදුවීමේ අවස්ථාවක් තිබෙනවා.’’ යනුවෙන් පවසා සිටියි.

දත්ත වාර්තා අනුව 2025 සිව්වැනි කාර්තුවේදී මෙරට වෙත වැඩිම ප්‍රේෂණ මුදල් ප්‍රමාණය වන ඩොලර් මිලියන 220ක් සහ ඩොලර් මිලියන 216.9ක් එවා ඇත්තේ එක්සත් අරාබි එමීරයේ සහ ක්වේටයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ය. එසේම කටාරයෙන් ඩොලර් මිලියන 167.4 ක් මෙන්ම ඊශ්‍රායලයෙන් ඩොලර් මිලියන 91.5ක් හිමිව තිබේ.