පසුගිය සතිය තුළ කොටස් වෙළෙඳාම වර්ධනයෙහි ස්ථාවර බවක් නිරීක්ෂණය කළ හැකිය. වසරේ මුල් සතියේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 790 කින් වර්ධනය වී තිබුණි. සතිය තුළ වෙළෙඳපොළට අලුතින් එකතු වු මුදල රු. බිලියන 265 ක් බව සඳහන්ය. මෙම සතියේ දී උච්ඡාවචන අපේක්ෂා කළ හැකි නමුත් මිල දි ගැනීමට සුදුසුස පරිසරයක් නිර්මාණය වී තිබේ.
වෙළෙඳපොළ හැසිරීම් සම්බන්ධයෙන් බලධාරීන් තියුණු පරීක්ෂාවක සිටින බවට පැතිරෙන විශ්වාසය ඉතා වැදගත් බව පෙනේ. ඇතැම් උපායශීලී ගනුදෙනු හැඳිනගෙන මිල දී ගැනීමට පෙළැඹීම වැදගත් අතර සමාගම්වල වටිනාකම් ඉක්මවා ඇති විය හැකි රැළිවලින් ගැලවීම කෙරෙහි ආයෝජන අංශ අවධානය වැදගත් වේ.
අද දිනයේ දී ද කොටස් මිල දී ගැනීමට උන්නදුවක් ඇති විය හැකිය. තෝරා ගත් සමාගම්වල කොටස් ඉල්ලුම ඉහළ යනු ඇත. වාණිජ බැංකු, පාරිභෝගික සේවා, රක්ෂණ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවලට අයත් සමාගම්වලට වැඩි නැඹුරුවක් ඇති විය හැකිය. ඉදිරි කාලය තුළ විදේශීය මිල දී ගැනීමේ තරගකාරීත්වයක් අපේක්ෂා කෙරේ. විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් පවතින ස්වභාවය එයට රුකුලක් වනු ඇත. ඉකුත් සිකුරාදා (ජන 09) ගනුදෙනුවලදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 123.5 ක් වූ අතර විකිණීම් රු. මිලියන 131.7 කි. 
පසුගිය සිකුරාදා (ජන 09) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,654.30 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 127.17 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,503.02 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 44.99 ක වර්ධනයකි. දෛනික පිරිවැටුම රු. බිලියන 8.54 කි. ගනුදෙනු 47,852 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 269.33 ක් විය. සමාගම් 161 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 98 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 72.53 ක් වැනි ඉහළ අගයක විය.
එල්.ඕ.එල්.සී. (සී) රු. මිලියන 1,180 ක් , රේණුකා ඇග්‍රි (සී) රු. මිලියන 594ක්. එල්.ඕ.එල්.සී. රු. මිලියන 339 ක් සම්පත් බැංකුව රු. මිලියන 309 ක්, රේණුකා ඇග්‍රි) රු. මිලියන 274 ක්. ඒ.සී.එල් කේබල් රු. මිලියන 238 ක්, සම්පත් බැංකුව (සී) රු. මිලියන 215 ක්, ඕවර්සීස් රියැලිටි රු. මිලියන 215 ක්, සී.අයි.සී. නිෂ්ඡන්ද රු. මිලියන 179 ක්, සහ වෙල්ත් ට්‍රස්ට් රු. මිලියන 151 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක