2025 වසරට සාපේක්ෂව සියයට 5.2 කින් ආදායම පහළට 


මැදපෙරදිගින් ලැබුණු අපනයන ආදායමේ සියයට 48 ක අඩුවීමක් 


ජනවාරි සිට මාර්ත දක්වා ඩොලර් මිලියන 4‍,308 ක අපනයන ආදායමක් 


පොල්, ඉලෙක්ට්‍රොනික උපාංග, පාන වර්ග, මැණික් සහ තොරතුරු තාක්ෂණ යන අංශ කැපී පෙනෙන වර්ධනයක 


බාධා මැද මේ වසරේ සියයට 10ක අපනයන ආදායම් වර්ධනයක් සඳහා යොමු වන බව පවසයි 


භානුක අමරසිංහ 


2025 වසරේ මාර්තු මාසයේදී මෙරට අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,467 ක් ලෙස සටහන් වන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. රේගු දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මාර්තු මාසයේ අපනයන කාර්ය සාධනය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් එම මණ්ඩලය මෙම කරුණු සඳහන් කරයි. 
මෙහිදී එම අපනයන ආදායමෙන් ඩොලර් මිලියන 1,180ක් වෙළෙඳ භාණ්ඩ අපනයනය හරහා හිමිව ඇති අතර, ඩොලර් මිලියන 287 ක් සේවා අපනයනය හරහා හිමිව තිබේ. 
අපනයන සංවර්ධන මණ්ඩලයට අනුව මෙය පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 1,402 ක අපනයන ආදායම හා සැසඳීමේදී සියයට 9ක වර්ධනයක් ලෙස සටහන් වන අතර, 2025 වසරේ මාර්තු මාසයේ ඩොලර් මිලියන 1,548 ක ආදායම හා සැසඳීමේදී සියයට 5.2 ක අඩුවීමක් ලෙසත් සටහන්ව තිබේ. 
විශේෂයෙන්ම පෙබරවාරි මාසය අගදී හටගත් මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඇති වූ බලපෑම් මෙලෙස අපනයන යම් තරමකින් අඩුවීමට හේතු වූ බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඊයේ (23)සඳහන් කළේය. කෙසේ වෙතත් බාධා මධ්‍යයේ වුවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,467 ක අපනයන ආදායමක් සුරක්ෂිත කරගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම කැපී පෙනෙන අවස්ථාවක් බවද ඒ මහතා සඳහන් කළේය. 
 “මැද පෙරදිග යුද්ධය, නැව්ගාස්තු ඉහළ යෑම, රක්ෂණ ගාස්තු ඉහළ යෑම ඇතුළු විවිධ බාධා මැද වුවත් මේ අපනයන ආදායම රැස් කරගැනීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. මාර්තු මැද වනවිට ගුවන් භාණ්ඩ ප්‍රවාහනය යම් තරමකින් යථාවත් වුණත්. නෞකා භාණ්ඩ ප්‍රවාහනය තවමත් නියමිත පරිදි සිදු නොවීම අපනයනකරුවන්ට තවදුරටත් බලපෑම් එල්ල කර තිබෙනවා.”
පෙර වසරට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී පොල් ආශ්‍රිත නිෂ්පාදන (සියයට 9.64ක) , විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංග (සියයට 31.83ක), සැකසූ ආහාර පාන වර්ග (සියයට 18.51ක), මැණික් සහ ස්වර්ණාභරණ (සියයට 26.56ක) සහ තොරතුරු තාක්ෂණ (සියයට 26.48ක) ලෙස කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 
කෙසේ වෙතත් ඇගලු‍ම් සහ රෙදිපිළි අපනයන ආදායම ඩොලර් මිලියන 440ක් දක්වා සියයට 11.22 කින්ද, තේ අපනයන ආදායම ඩොලර් මිලියන 115ක් දක්වා සියයට 17.34 කින්ද, කුළුබඩු සහ සගන්ධ තෙල් අපනයන ආදායම ඩොලර් මිලියන 35.97 ක් දක්වා සියයට 14.56 කින්ද අඩුවී තිබේ. 

එසේම ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායමත් ඩොලර් මිලියන 78 ක් දක්වා සියයට 25.61 කින් අඩුවී තිබේ. මීට අමතරව සේවා යටතේ ප්‍රවාහන සහ කාර්​ෙ යා්පාය සේවා සියයට 33.73 කින්ද පහත වැටී තිබේ. 
මේ අතර රාජ්‍යයන් ලෙස ගත් විට ඉන්දියාව (සියයට 4.44ක), ප්‍රංශය (සියයට 5.74ක), බෙල්ජියම (සියයට 17.7ක) සහ චීනය (සියයට 37.4ක) යන රටවල අපනයන ආදායමේ වර්ධනයක් පවතින බවද සභාපතිවරයා මෙහිදී පවසා සිටියේය. 
එහෙත් එක්සත් ජනපදය වෙත සිදුකළ අපනයන ආදායම ඩොලර් මිලියන 275 ක සිට ඩොලර් මිලියන 251 ක් දක්වා සියයට 8.42කින් අඩුවී තිබේ. ඔස්ට්‍රේලියාවේ එය සියයට 10.93කින්ද, කැනඩාවේ එය සියයට 21.07 කින්ද අඩුවී තිබේ. 
“කලාප වශයෙන් ගත්තොත් යුරෝපා, අප්‍රිකානු සහ ආසියානු කලාපයේ රටවල කැපී පෙනෙන අපනයන ආදායම් වර්ධනයක් පෙන්නුම් කරනවා. එහෙත් මැදපෙරදිග කලාපය තුළදී එම ආදායමේ සියයට 48ක අඩුවීමක් තිබෙනවා.” 
 විශේෂයෙන්ම 2025 වසරේදී ශ්‍රී ලංකාව මැදපෙරදිග වෙත ඩොලර් මිලියන 1080 ක පමණ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇති බවත්, ඒ අනුව සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව මාසයකට ඩොලර් මිලියන 90ත් 100ත් අතර වටිනාකමින් යුත් භාණ්ඩ මැදපෙරදිග වෙත අපනයනය කරන නමුත්, මේ වසරේ මාර්තු මාසයේදී එය ඩොලර් මිලියන 45 ක අගයක් ගන්නා බවත් සභාපතිවරයා සඳහන් කළේය. 
මේ අතර ජනවාරි සිට මාර්තු දක්වා වසරේ පළමු කාර්තුවේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 4,308 ක් ලෙස සටහන්ව තිබේ. එය පෙර වසරේ එම කාලසීමාවේදී හිමි වූ ඩොලර් මිලියන 4,241ක ආදායමට සාපේක්ෂව සියයට 1.59ක වර්ධනයකි. 
එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 3,387ක් වන අතර සේවා අපනයන ආදායම ඩොලර් මිලියන 921 කි. 
 “2030 වසරේදී ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කයක් සඳහා යන ගමනේදී 2026 වසර සඳහා අපේ පැවතුණේ සියයට 10ක අපනයන වර්ධනයක්. ඒ අනුව මුල් මාස දෙක තුළ අපි සියයට 7.5ක වර්ධනයක් වාර්තා කළා. එහෙත් මාර්තු මාසයේදී එය සියයට 5ක් දක්වා අඩු වෙලා තිබෙනවා. මේ පසුබෑමත් සමගින් අපි දැනට අරගෙන තිබෙන වර්ධනය සියයට 2ක් පමණ වෙනවා.“ 
කෙසේ වෙතත් මෙම වසර තුළ සැලසුම් කර ඇති අපනයන සංවර්ධන වැඩසටහන් 140 කට වැඩි සංඛ්‍යාවක් හරහා අපනයන ආදායම තවදුරටත් වර්ධනය කරගැනීම එම මණ්ඩලයේ අපේක්ෂාව වී තිබේ. එසේම ජාතික සංවර්ධන සැලැස්මද ලබන මැයි මාසයේදී එළිදැක්වීමට නියමිතව ඇතැයිද මෙහිදී අනාවරණය කෙරිණි.