- මුල් දින 18 දී සංචාරක පැමිණීම්හි සියයට 19.4ක අඩුවීමක්
- මාර්තුවේ පැමිණි සංචාරකයන්ගෙන් සියයට 25ක්ම ඉන්දියානුවන්
- සමස්ත සංචාරක පැමිණීම් 666,065ක් වෙයි
මෙම වසරේ මාර්තු මාසයේදී සංචාරකයන් ලක්ෂ 2ක් මෙරටට ගෙන්වා ගැනීමත් අසීරු වනු ඇතැයි සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් සඳහන් කරති. මීට පෙර එම ඉලක්කය සංචාරකයන් ලක්ෂ 3ක් ලෙස පැවතුණි. මැදපෙරදිග පවතින යුද ගැටුම් මෙන්ම ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමගින්ම ගුවන් යානා ඉන්ධන ඉහළ යාමෙන් ගුවන් ටිකට් පත් ගාස්තුද ඉහළ යාම මේ සඳහා හේතුව වී තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරිය මගින් මේ වසරේ මාර්තු මාසයේ මුල් දින 18 සඳහා නිකුත් කළ දත්ත වාර්තා අනුව පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 109,410කි. එය 2025 මාර්තු මාසයේ මුල් දින 18 සඳහා පැමිණි සංචාරකයන් 135,873 හා සැසඳීමේදී සියයට 19.4 ක අඩුවීමකි. එම වසරේ මාර්තුවේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 229,298 කි.
මේ අතර වසරේ මාර්තු 01 සිට 18 දක්වා කාලය තුළ දෛනික සංචාරක පැමිණීමේ සාමාන්‍ය අගය මේ වනවිට 6,078ක් ගෙන තිබේ. ඒ අනුව මාසයේ ඉතිරි දින 13ක කාලයේදීද දිනකට සංචාරකයන් 6000 ක සාමාන්‍ය අගයක් පැවතිය හොත් මාර්තුවේදී පැමිණෙන සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 187,000 කට ආසන්න වනු ඇතැයි ගණන් බලා තිබේ.
මාර්තුවේ මෙතෙක් පැමිණ ඇති සංචාරකයන් අතරින් වැඩිම පිරිස වන 27,613 එනම් සියයට 25ක් ඉන්දියානුවන්ය. එක්සත් රාජධානියෙන් සංචාරකයන් 10,111ක් පැමිණ තිබේ. රුසියාවෙන් සහ චීනයෙන් පිළිවෙළින් සංචාරකයන් 9,562ක් සහ 9,100ක් පැමිණ තිබේ. ජර්මනියෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 8,258 කි.
මේ අතර වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 666,065ක් වන අතර, ඉන් සංචාරකයන් 127,353ක් ඉන්දියානුවන්ය. සංචාරකයන් 70,439 ක් එක්සත් රාජධානියෙන්ද, 59,795ක් රුසියාවෙන්ද පැමිණ තිබේ. ජර්මනියෙන් සහ චීනයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙළින් 48,600ක් සහ 43,283 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd