පෙර වසරට සාපේක්ෂව සංචාරක පැමිණීම්වලට සියයට 18 ත් - 20ත් අතර බලපෑමක්


මෙතෙක් අවලංගු කෙරී ඇති සමස්ත ගුවන් ගමන් වාර සංඛ්‍යාව 898 ක්


ඉන්දියානු සහ ආසියානු පැසිපික් කලාපය ඉලක්ක කර සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්


සංචාරක කර්මාන්තයට අඛණ්ඩ ඉන්ධන සැපයුමකට පියවර


හෝටල් සඳහා කිලෝග්‍රෑම් 32.5 ක ගෑස් ටැංකි සැපයීමට ලිට්‍රෝ වෙතින් සහතිකයක්


භානුක අමරසිංහ


මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් සිදුව ඇති ගුවන් ගමන් අවලංගු කිරීම් ඇතුළු බලපෑම් හේතුවෙන් මාර්ත 01 සිට 15 දක්වා සංචාරක කර්මාන්තය වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 40ක පමණ ආදායම් අහිමිවීමක් සිදුව ඇතැයි ඇස්තමේන්තු කරන බව සංචාරක බලධාරීන් පවසයි.

එසේම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී සංචාරක පැමිණීම් වෙත සියයට 18ත් සියයට 20ත් අතර බලපෑමක් සිදුව තිබෙන බවත්, එම බලපෑම සියයට 15ක් දක්වා අඩු කිරීම සිය අරමුණ බවත් එම බලධාරීන් පවසයි.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති බුද්ධික හේවාවසම් සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ (SLCB) සභාපති ධීර හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්  ඊයේ (17) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය.

මෙහිදී අදහස් දැක් වූ සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ මහතා, “යුද්ධය ආරම්භ වුණු දිනයේ සිට මාර්තු 15 දක්වා රටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 447ක් සහ රටින් පිටවීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 451ක් සමගින් ගුවන් ගමන් වාර 898ක් පමණ අවලංගු වී තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව අපි ජනවාරියේදී සංචාරක පැමිණීම්හි සියයට 10ක වර්ධනයක්, පෙබරවාරියේදී සියයට 16ක වර්ධනයක් දැක්කා. ඒත් මාර්තුවේ මේ දක්වා එය සියයට 20ක පමණ අඩු වෙලා තිබෙනවා. අද වනවිට ඉන්ධන මිල ඉහළ යෑම නිසා ගුවන් ගාස්තුවල ඉහළයෑමත් මේ සඳහා බලපාලා.” යනුවෙන් සඳහන් කළේය.

SLTDA සභාපති බුද්ධික හේවාවසම් මහතා අදහස් දක්වමින්, “පසුගිය මාසයේදී දිනකට සංචාරක පැමිණීම් 12,000ක් පමණ වාර්තා වුණා. ඒත් අද වන විට එය 6,500ත් 7500ත් අතර සංඛ්‍යාවකට අඩුවෙලා. මැදපෙරදිග හරහා යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයන් අඩුවීම ඊට බලපා තිබෙනවා. කොහොම නමුත් මේ කාලසීමාවේදී ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයන්ගේ සියයට 20ක වර්ධනයක් තිබෙනවා. ආසියා පැසිපික් කලාපයේ එය සියයට 18 ක වර්ධනයක් පෙන්වනවා.” යනුවෙන් පවසා සිටියේය.

“දැනට සංචාරක පැමිණීම් වෙත සිදුව ඇති බලපෑම පෙර වසරට සාපේක්ෂව සියයට 18ත් 20ත් අතර අගයක් ගන්නවා. මෙම බලපෑම සියයට 15ක් දක්වා අඩු කිරීම අපේ බලාපොරොත්තුවයි. ඒ වගේම මාර්තු 01 සිට 15 දක්වා සංචාරක කර්මාන්තයට ඩොලර් මිලියන 40ක පමණ ආදායමක් අහිමිවී තිබෙනවා” සභාපතිවරයා පවසා සිටියේය.

ඒ අනුව මෙම පාඩුව මඟහැරවීම සඳහා ඉන්දියාව සහ ආසියානු පැසිපික් කලාපය ඉලක්ක කරගනිමින් තවදුරටත් සංචාරක ප්‍රවර්ධන කටයුතු කරමින් පවතින බවත්, විශේෂයෙන්ම තායිලන්තය, කොරියාව, සිංගප්පූරුව ඉලක්කකරගත් ආගමික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඉදිරියටත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
එසේම ඉදිරියේදී වැඩි සංචාරක MICE ඉසව් ප්‍රමාණයක් මෙරට වෙත ආකර්ෂණය කරගැනීම සඳහා ප්‍රවර්ධන ව්‍යාපාර කිහිපයක් දියත් කරන බව ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
“අපි ලබන මාසයේ ඉන්දියාවේ කල්කටා, අහමදාබාද් සහ චෙන්නායි නගර කේන්ද්‍ර කරගනිමින් ප්‍රවර්ධන ව්‍යාපාරයක් දියත් කරනවා. විවිධ ඉසව් සංවිධානය සඳහා ඩුබායි වෙත යන ඉන්දියානු සමාගම් ලංකාව වෙත ආකර්ෂණය කරගැනීම එහි අපේක්ෂාවයි. ඒ වගේම ඉතාලියේ පැවැත්වෙන EWPC (Exotic Wedding Planning Conference) ප්‍රදර්ශනයට අපි ලබන මාසයේදී සහභාගි වෙනවා.”  
මේ අතර මැදපෙරදිග යුද්ධය හේතුවෙන් හට ගෙන තිබෙන ඉන්ධන ගැටලු නිසා සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම මඟහැරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී දැනුවත් කළ සංචාරක බලධාරීන්, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මග පෙන්වන්නන් සහ රියදුරන් සඳහා අවශ්‍ය ඉන්ධන විශේෂ QR කේත ක්‍රමයකට ලබා දෙන බව සඳහන් කළේය.
“SLTDA වෙබ් අඩවිය හරහා මීට ලියාපදිංචි වෙන්න පුළුවන්. පළමු දිනයේදී පමණක් මේ සඳහා සංචාරක සේවා සපයන්නන් 120ක් පමණ ලියාපදිංචි වෙලා තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් සමගින් එක්වෙලා මාර්තු 18 වැනිදා සිට සිපෙට්කෝ ඉන්ධන හල් හරහා මෙම පිරිසට පෝලිම්වල රැඳී නොසිට දැනට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය මෙන් දෙගුණයක් දෙන්න කටයුතු කරනවා.” යනුවෙන් හේවාවසම් මහතා පවසා සිටියේය.
එසේම හෝටල්වල විදුලිජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට මෙන්ම, හෝටල්වල සේවකයන් ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන කෝටාවද QR කේතයක් හරහා ලබාදීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් කෙරිණි. සංචාරක හෝටල් සඳහා අවශ්‍ය කිලෝග්‍රෑම් 32.5ක එල්.පී. ගෑස් ටැංකි අඛණ්ඩව සැපයීමට හැකි බවට ලිට්‍රෝ සමාගමද සහතිකයක් ලබාදී ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව ප්‍රාදේශීයව සංචාරක කර්මාන්තය හා සම්බන්ධ පිරිස් වෙත ප්‍රාදේශීය ලේකම්වරයා හරහා මෙම ඉන්ධන කෝටාව ලබා ගැනීමේ අවස්ථාව පවතින බවත් මෙහිදී අනාවරණය කෙරිණි.
“අද වෙන කොට සංචාරකයන් 77,000ක් මෙරට රැදී ඉන්නවා. ඒ කිසිදු අයකුට සිය සංචාරය සඳහා කිසිදු බලපෑමක් ඇති නොවීමට තමයි මේ පියවර සියල්ල අරගෙන තිබෙන්නේ.” නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
මේ අතර මෙරට සංචාරය අවසන් කර නැවත සිය රට වෙත යාමට නොහැකි වී සිටින සංචාරකයන් සඳහා තවත් සති දෙකකට වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට කටයුතු කරන බවත්, මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ගුවන් යානා නොමැතිවීමෙන් වීසා කල් ඉකුත්වන සංචාරකයන්ගේ වීසා කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමටත් කටයුතු කරන බවද අනාවරණය කෙරිණි.
“සංචාරකයන් සඳහා පවතින මූල්‍යමය, නවාතැන් හෝ ආහාර පිළිබඳ ගැටලුවක් තිබේ නම් 1912 කියන අංකයට ඇමතුමක් දීලා ඒ ගැන දැනුවත් කරන්න පුළුවන්.” නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඡායාරූප : ලසන්ත කුමාර