ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් GAC Automobile Technologies (Pvt) Ltd සමාගම විසින් සිය නවතම ‘GAC City Showroom’ ප්‍රදර්ශනාගාරය පසුගිය දා නො:342, ගාලු‍ පාර ,කොළඹ 04 දරන ස්ථානයේ දී නිල වශයෙන් විවෘත කරන ලදී. පාරිභෝගියන්ට ළඟා වීමට පහසු ලෙස නගර මධ්‍යයේ ස්ථාපිත කර ඇති මෙම ප්‍රදර්ශනාගාරය හරහා නූතන නාගරික ජීවන රටාවට වඩාත් හොඳින්ම ගැළපෙන විද්‍යුත් සහ දෙමුහුන් (Hybrid) වාහන පිළිබඳ සජීවි අත්දැකීමක් පිරිනමයි. 

මෙම සමාරම්භක උත්සවයට සමගාමීව නවතම වාහන මාදිලි ද්විත්වයක් ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වාදීම උත්සවයේ සුවිශේෂී අවස්ථාවක් විය. ඒ අනුව, ඉහළ පෙළේ විධායක නිලධාරීන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද GAC E9 Plug-in Hybrid (PHEV) මෝටර් රථය සහ දෛනික නාගරික ගමනාගමනය සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද කුඩා ප්‍රමාණයේ පූර්ණ විද්‍යුත් (Fully Electric) මෝටර් රථයක් වන Aion UT රථය මෙහිදී එළිදැක්විණි. 

පර්යේෂණාත්මක මට්ටමට පමණක් සීමා නොවූ, ප්‍රායෝගික මෙන්ම විශ්වාසනීය තාක්ෂණය සමග සුඛෝපභෝගී වාහන විසඳුම් මෙරටට පිරිනැමීම කෙරෙහි GAC සමාගම දක්වන අසමසම කැපවීම නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම සහ මෙම නව මාදිලි ද්විත්වයක් හඳුන්වා දීම ඔස්සේ මැනවින් ඉස්මතු වේ.

මෙම අවස්ථාවට සහභාගිවෙමින් GAC Automobile Technologies (Pvt) Ltd හි විකුණුම් අංශයේ කළමනාකරු කදිරවේල් කූගන් මහතා මෙසේ සඳහන් කළේය. “GAC City Showroom යනු හුදෙක් වාහන අලෙවිසලක් පමණක් නොව ඉන් ඔබ්බට ගමන් කරමින් විද්‍යුත් වාහන සංස්කෘතියකට ලංකාව සූදානම් බව පිළිබිඹු කරන විශ්වාසනීය සහතිකයක්. ලාංකික රියදුරන්ගේ අවශ්‍යතා හොඳින් හඳුනාගත් නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරමින්, විද්‍යුත් හෝ දෙමුහුන් වාහනයකට මාරුවීමේ ක්‍රියාවලිය ඉතා සරල සහ විශ්වසනීය අත්දැකීමක් බවට පත් කිරීම අපගේ අරමුණයි.”‍ 

GAC E9 නවතම මාදිලිය මෙහිදී වැඩිදෙනකුගේ ඉහළ අවධානයක් දිනා ගැනීමට සමත් වූ අතර ඉහළ පෙළේ විධායක වෘත්තිකයන්ට, පවුලේ අවශ්‍යතාවලට මෙන්ම ආයතනික භාවිතයන් සඳහා ද එය ඉතා යෝග්‍ය වේ. මෙම රථය කිලෝමීටර 1,032ක් දක්වා වූ උපරිම දුරක් ධාවනය කිරීමේ හැකියාව පවතින අතර විද්‍යුත් වාහන භාවිතයේ දී ඇතිවන ප්‍රධානතම ගැටලු‍වක් වන බැටරි ආරෝපණය පිළිබඳ ගැටලු‍වට (Range Anxiety) මෙහිදී සාර්ථක විසඳුම් සපයා තිබේ. එම නිසා මෙය නාගරික මෙන්ම දිගු ගමන් සඳහා ද කදිම තේරීමක් වනු ඇත.