
IMF වැඩසටහන ඉදිරියට ගෙන යාම සහ ඉදිරි ණය වාරික නියමිත කාලයට ලබා ගැනීම ප්‍රමුඛ බව පවසයි
ඉන්ධන බෙදාහැරීම සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මණ්ඩලයේ ප්‍රසාදය
මැදපෙරදිග කලාපයේ උද්ගතවී ඇති යුධමය වාතාවරණය හමුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීතාව රැක ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන්, රජය සමගින් එක්ව කටයුතු කිරීමට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
ඒ අනුව පවතින තත්වය තුළ ශ්‍රී ලංකාවට ඇති විය හැකි ආර්ථික අවදානම් කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණය රැසක් ද පසුගිය මාර්තු 11 දින රජය වෙත නිර්දේශ කර තිබේ. එහිදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සහ ඉදිරි ණය වාරික නියමිත කාලයට ලබා ගැනීම ප්‍රමුඛතාවක් ලෙස පවත්වා ගැනීම, ඉන්ධන මිල නියම කිරීමේ ක්‍රමවේදය වඩාත් ගතික ආකාරයකට යාවත්කාලීන කිරීම සහ ඉන්ධන බෙදාහැරීම සඳහා QR ක්‍රමය නැවත හඳුන්වාදීම වැනි කරුණු ඇතුළත් වී ඇත. ඒ අතරින් ඉන්ධන බෙදාහැරීම සම්බන්ධ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් පියවර කිහිපයක් ගෙන තිබීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර සිටී.
මීට අමතරව, ඉදිරි කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර තොග සුරක්ෂිත කිරීම, ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම, සංචාරක ප්‍රවර්ධනය ශක්තිමත් කිරීම සහ විශේෂයෙන් ඉන්දියාව සහ නැගෙනහිර ආසියානු වෙෙළඳපොළ ඉලක්ක කර සංචාරක ප්‍රචාරණ වැඩසටහන් ඉහළ දැමීමද නිර්දේශ කර තිබේ.
එසේම භාණ්ඩ නිශ්කාෂණ කටයුතු කඩිනම් කරමින් වරායේ කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා ලෙසත්, ගෝලීය අස්ථාවරතාවත්වය හමුවේ පවතින විදේශ විනිමය සංචිත මත අමතර පීඩනයක් ඇති කළ හැකි ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කිරීම අවශ්‍ය බවත් ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කරයි.
මෙම නිර්දේශ මත පදනම් වෙමින්, ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ප්‍රමුඛ අංශ ආරක්ෂා කිරීම සඳහා අමතර පියවර කිහිපයක්ද ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම සතිය තුළ රජයට යෝජනා කර ඇත. එනම්,
01) සැපයුම් දාමයන් හි බාධා ඇතිවුවහොත් ඉන්ධන සහ විදේශ විනිමය ඇතුළු ප්‍රධාන සම්පත් වෙන් කරනු ලබන අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛ ආර්ථික ක්ෂේත්‍ර පිළිබඳ පැහැදිලි ලැයිස්තුවක් නම් කරන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයට නිර්දේශ කරයි.
02) එමෙන්ම, ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගේ පුළුල් සැපයුම් ගිවිසුම් සොයා බැලීම ඇතුළුව ඉන්ධන මිලදී ගැනීම සඳහා උපායමාර්ගික ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවද වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගුවන් යානා ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවද එහි සඳහන් වේ.
03) බලපත්‍රලාභී ඉන්ධන ගබඩා පහසුකම් ඇති දේශීය සමාගම්වල සඳහා අපනයන ආශ්‍රිත කර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ස්වාධීනව ඉන්ධන මිලදී ගෙන සැපයීමට ඉඩ ලබා දීමටද වානිජ මණ්ඩලය යෝජනා කර ඇත.
04) ආර්ථික ක්‍රියාකාරකම් පවත්වාගෙන යමින් ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා, රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට හැකි ස්ථානවල දුරස්ථ වැඩ (Work from Home) ඇතුළුව නම්‍යශීලී සේවා ක්‍රමවේද සලකා බැලීමට ද වෙළෙඳ මණ්ඩලය යෝජනා කරයි.
05) ඉන්ධන, ආහාර, ඖෂධ සහ අපනයන කර්මාන්ත වෙනුවෙන් අවශ්‍ය යෙදවුම් වෙනුවෙන් හැර අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය වෙනුවෙන් රටින් පිටට ඩොලර් ගලා යාම තාවකාලිකව සීමා කිරීමට නිර්දේශ කර සිටී.
මේ අතර ඇතිවිය හැකි ගෝලීය කම්පන වළක්වා ගැනීමට සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට රජය සහ පෞද්ගලික අංශය අතර සමීප සම්බන්ධීකරණය ඉතා වැදගත් වනු ඇති බවත් ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd