වසර 60 කට අධික ප්‍රෞඩ ඉතිහාසයක් හිමි බැංකු නොවන මුල්‍ය ආයතනයක්වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, පසුගිය වසරේ දෙසැම්බර් මාසයවන විට සිය ශාඛා ජාලය 90 ක් දක්වා පුළුල් කිරීමට සමත් විය. මුල්‍ය සේවා සඳහා මෙරට ජනතාවට ඇති ප්‍රවේශය, පාරිභෝගික පහසුව සහ ප්‍රජා සවිබල ගැන්වීම සඳහා එම සමාගම දක්වන කැපවීම මෙමගින් මනාව පිළිබිඹු වේ. ඒ අනුව, 90 වැනි ශාඛාව ලෙස, තංගල්ල ප්‍රදේශය අවට ජනතාවට මුල්‍ය සේවා පිරිනැමීමේ අරමුණින් යුතුව තංගල්ලේදී විවෘත කෙරිණි. 
ශ්‍රී ලංකාව පුරා ශාඛා ජාලය පුළුල් කිරීමේ ක්‍රමෝපායික සැලසුම අනුව යමින්, ප්‍රධාන නගරවල මෙන්ම, නගරාසන්න සහ ශීඝ්‍රයෙන් දියුණුවන අනෙකුත් ප්‍රදේශ තුළ ද සිය නාමය සනිටුහන් කිරීමට මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම කටයුතු කරමින් සිටී. ලීසිං, තැන්පතු, රන් ණය සහ පාරිභෝගික අවශ්‍යතාව අනුව සකස් කෙරෙන වෙනත් පහසුකම් ඇතුළු පුළුල් පරාසයක විහිදුණු මුල්‍ය විසඳුම් හරහා සියලු‍ දෙනා ඇතුළත් මුල්‍ය වර්ධනයක් හිමිකර ගැනීමට මෙම සවිමත් ශාඛා ජාලයෙන් හැකි වී තිබේ. තවද එම සමාගම පාරිභෝගිකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, සමාගම් සහ ක්ෂුද්‍ර ව්‍යාපාරිකයන්ට පුද්ගලික මට්ටමේ උපදේශන සේවා ලබා දීමට ද කටයුතු කරයි. 
”‍ශීඝ්‍රයෙන්ම පුළුල්වන බැංකු නොවන මුල්‍ය ආයතනය ලෙස පාරිභෝගිකයන්ගේ විශ්වාසය සහ ළෙන්ගතුබව අඛණ්ඩව ශක්තිමත්කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. මෙරට ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් ලෙස හිමිකර ගෙන සිටින ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින්, තරගකාරී වෙළෙඳපොළ වාසිය පවත්වාගෙන යාම සඳහා අප ක්‍රියාත්මක කරන ක්‍රමෝපායික සැලසුම විදහා පාමින් පසුගිය වසර දෙකක කාලය පුරා අප ශීඝ්‍රයෙන් අපගේ ශාඛා ජාලය පුළුල් කිරීමට කටයුතු කළා. පාරිභෝගිකයන් සමග විශ්වාසය සහ දිගුකාලීන සබඳතාවක් ගොඩනගා ගැනීමට, ඔවුන් අසළට ගොස් සේවය සැපයීම ඉතා වැදගත් වනවා. ඒ අතරම, ඩිජිටල් සේවා සඳහා අප කරන අඛණ්ඩ ආයෝජනය හේතුවෙන් වඩාත් පුළුල් පාරිභෝගික පදනමකට බාධාවකින් තොර සේවාවක් සැපයීමට හැකි වී තිබෙනවා,”‍ යනුවෙන් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන මහතා සඳහන් කළේය. 
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ ශක්තිමත් වර්ධන සැලසුම සහ ශික්ෂණයකින් යුතුව එම සැලසුම ක්‍රියාත්මක කිරීම මෙම කැපීපෙනෙන වර්ධනයට ප්‍රධාන හේතුවකි. 2025 වසරේදී එම සමාගම රු. බිලියන 100 ක වත්කම් පදනම පසු කිරීමට සමත් වූ අතර එය, 250,000 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් එම සමාගම කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය කියා පායි. 
තවද පාරිභෝගික විශ්වාසය සහ තිරසර ද්‍රවශීලතා ලැබීම් ද පිළිබිඹු කරමින්, එම සමාගමේ ණය සේවාවල අගය රු. බිලියන 37 සිට රු. බිලියන 75 ක් දක්වා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර, රන් ණය රු. බිලියන 2 සිට රු. බිලියන 12 දක්වා හය ගුණයකින් ද, තැන්පතු රු. බිලියන 36 සිට රු. බිලියන 51 දක්වා ද වර්ධනය විය. ගත වූ වසරේ ප්‍රථම අර්ධයවන විට අක්‍රීය ණය ප්‍රතිශතය සියයට 4.65 ක් වැනි ඉතා යහපත් මට්ටමක පවත්වා ගැනීමට සමත් වීම විශේෂයෙන් කැපී පෙනෙයි.