ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමේ අරමුණින්, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය සහ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. ඒ, මුද්‍රණ ක්ෂේත්‍රයේ දිනෙන් දින වෙනස් වන නිපුණතා අවශ්‍යතාවලට සරිලන පරිදි අනාගතයට ගැළපෙන අයුරින් කර්මාන්තය කේන්ද්‍ර කරගත් පුහුණු වැඩසටහන් සකස් කිරීම මූලික කරගෙනය.
මෙම සාකච්ඡාවට, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති අබ්දුල් සත්තාර්, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. එස්. විජේසිංහ, අධ්‍යක්ෂ (සැලසුම්) සී. පී. සුබසිංහ සහ සහකාර අධ්‍යක්ෂ (අලෙවිකරණ සහ වෘත්තීය මාර්ගෝපදේශන) ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු සහභාගී වූහ. ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති ඉංජිනේරු ජනක රත්නකුමාර, උපසභාපති නිශාන්ත පෙරේරා සහ කළමනාකරු ඊ. ආර්. ලෙනාඩ් යන මහත්වරු සහභාගී වූහ.
නවීන මුද්‍රණ තාක්‍ෂණය, නිෂ්පාදන කාර්යක්ෂමතාව, තත්ව පාලනය ආදී අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, වෘත්තීය සහ තාක්ෂණික පුහුණුව සැබෑ කර්මාන්ත අවශ්‍යතා සමග පෙළගැස්වීමේ හදිසි අවශ්‍යතාවට දෙපාර්ශවයම මෙහිදී අවධානය යොමු කළහ.
මෙහිදී අදහස් දැක්වූ  ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ සභාපති ඉංජිනේරු ජනක රත්නකුමාර මෙසේ පැවසීය.
“මුද්‍රණ කර්මාන්තය වේගවත් තාක්ෂණික පරිවර්තනයකට ලක් වෙමින් පවතිනවා. දේශීය හා ගෝලීය වශයෙන් තරගකාරීව සිටීමට නම්, අප ව්‍යුහගත නිපුණතා සංවර්ධනය සඳහා ආයෝජනය කළ යුතුයි. SLAP  හි අපගේ දැක්ම වන්නේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය වැනි ජාතික ආයතන සමග සමීපව කටයුතු කරමින් ප්‍රායෝගික, කාලීන සහ අනාගතයට ගැළපෙන පුහුණු වැඩසටහන් හරහා දක්ෂ, කර්මාන්තයට සූදානම් ශ්‍රම බලකායක් ගොඩනැගීමයි.”
රැකියා නියුක්තිය ඉහළ නංවන අතරම ජාතික ආර්ථික සංවර්ධනයට දායක වන කර්මාන්ත පාදක පුහුණු ආකෘති සහ වෘත්තීය මාර්ගෝපදේශන මුලපිරීම් සඳහා සහාය වීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ නිලධාරීහු මෙහිදී සිය කැපවීම යළිත් තහවුරු කළහ.
මෙම මූලික හමුව, ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය අතර උපායමාර්ගික හවුල්කාරිත්වයක ආරම්භය සනිටුහන් කළේය. ඉදිරියේදී මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ රාමුව සකස් කිරීම සඳහා වැඩිදුර සාකච්ඡා සැලසුම් කෙරුණි.
මෙය ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ ශ්‍රම බලකා සංවර්ධනය, තාක්ෂණික අධ්‍යාපනය සහ තිරසාර වර්ධනය වෙනුවෙන් තැබූ වැදගත් පියවරක් වනු ඇතැයි දෙපාර්ශවයම විශ්වාස කරයි.