- ඉන්ධන මිල ගණන් ඉහළ යෑමත් සමගින්ම භාණ්ඩ මිල ඉහළට
- උද්ධමනය සියයට 5ට වඩා ඉහළ යෑමේ අවදානමක්
- පහළ ගිය මහ බැංකු පොලී අනුපාත යළිත් ඉහළ යාමේ අවස්ථාවක්?
- පොලී අනුපාත ඉහළ ගියොත් කර්මාන්ත සහ ව්‍යාපාර වෙත දරුණු බලපෑම්
- ප්‍රේෂණ, සංචාරක ආදායම් අඩුවීම් සහ ඉන්ධන සඥහා වැයවීම් නිසා සංචිතය පහළට
භානුක අමරසිංහ
මාසයකට ආසන්න කාලයක් මැදපෙරදිග කලාපයේ හට ගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් මෙරට ආර්ථිකය 2022 වසරේ ආර්ථික අර්බුදයෙන් පසුව යළිත් වරක් හැකිළීමකට ලක් වෙනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අදහස් පළ කරති.
එහිදී මූලිකවම අවස්ථා දෙකකදී සිදු වුණු ඉන්ධන මිලෙහි දැවැන්ත ඉහළ යාම මෙන්ම, ඒ හරහා මතුව තිබෙන ආර්ථික ගැටලු සහ උද්ධමනයේ ඉහළ යෑම මේ සඳහා හේතුවනු ඇතැයි ඔවුන්ගේ අදහස වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂිකා ජූලි කොසැක්ද පසුගියදා අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව මැදපෙරදිග යුදමය තත්වයට සැලකිය යුතු ලෙස නිරවාරණය වී ඇතැයි සඳහන් කළාය. “වෙළෙඳාම, විදේශ විනිමය සහ පේෂණ සහ සංචාරක යන අංශ එතැනදී මූලිකයි. ඒ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ඉදිරි දැක්මට බලපෑමක් සිදුවිය හැකියි.” ඇය පවසා තිබුණි.
2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසුව 2023 වසරේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමගින් ක්‍රියාත්මක කෙරුණු විස්තීර්ණ ණය වැඩසටහන හරහා ලැබුණු සහායත් සමගින් රට යළිත් අර්බුදයෙන් ගොඩඑමින් පවතින අවස්ථාවේදී මෙම මැදපෙරදිග ගැටුම් හටගැනීමත් තත්වය දරුණු කර තිබේ.
කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ යාමත් සමගින් රට තුළ උද්ගතව තිබෙන වර්තමාන අර්බුදය, රජයේ නිසි කළමනාකරණයක් නොමැතිවීමෙන් වඩාත් දරුණු තත්වයට පත්ව තිබෙන බව ලංකාදීප FT වෙත අදහස් දැක්වූ වයඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා සඳහන් කළේය.
“මේ ගෝලීය අර්බුදය ශ්‍රී ලංකාවේ රජයේ පාලනයෙන් තොර බව ඇත්ත. නමුත් මේ අර්බුදය වුණත් නිසි ලෙස කළමනාකරණය කළා නම් අද රටේ ඇතිව තිබෙන ගැටලු මතු වෙන්නේ නෑ. තවමත් රජය සතුව ඒ සඳහා නිසි සූදානමක් පෙනෙන්නත් නැහැ. අදටත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 120ක බද්දක් ගහනවා. අනික කලින් ගෙනාව තෙල්වල තමයි මිල ඉහළ නංවලා තියෙන්නේ. මිනිසුන්ට මෙය ප්‍රශ්නයක්.”
මෙලෙස ඉන්ධන මිල ගණන් ඉහළ යෑම රටෙහි සියලුම ක්ෂේත්‍රවලට බලපා ඇති බවත්, බලශක්තිය වෙත එය බලපෑම හරහා අනිවාර්යයෙන්ම එය උද්ධමනය වෙත දරුණු ලෙස බලපානු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
“රජය වුණත්, IMF වුණත් උද්ධමනය සියයට 5ක අගයක පවත්වාගෙන යෑමේ ස්ථාවරයක ඉන්නවා. ඒත් මේ යන විදියට ඉදිරියේදී උද්ධමනය සියයට 5 ඉක්මවාවි. IMF කණ්ඩායමක් මාර්තු 26 ලංකාවට එනවා. අපි බලමු ඔවුන් මොනවද කියන්නේ කියලා.“
මේ අතර ඉහළ යන උද්ධමනය පාලනය සඳහා මහ බැංකුව පියවර ගනු ඇති බවත්, එහි එක් අවස්ථාවක් ලෙස මහ බැංකු පොලී අනුපාත ඉහළ යෑමේ අවස්ථාවක් පවතින බවත් ඒ මහතාගේ අදහස වී තිබේ.
“මහ බැංකුවේ 2026 වසර සඳහා වන දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය මාර්තු 25 වැනිදා ප්‍රකාශයට පත් කරනවා. ගෝලීය උද්ධමනය සහ දේශීය උද්ධමන ප්‍රවණතා සලකා බලමින් බොහෝ දුරට මහ බැංකුව සිය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ නැංවීමේ අවස්ථාවක් තිබෙනවා.”
මහ බැංකුව පසුගිය ජනවාරියේදී නිකුත් කළ 2026 වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව එක්දින ප්‍රතිපත්ත්ති පොලී අනුපාතිකය සියයට 7.75ක් ලෙස පැවති මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කෙරිණි.
2022 ආර්ථික අර්බුදය ආරම්භයට පෙර මාර්තු මාසයේදී රැස්වුණු මහ බැංකු මුදල් මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව මහ බැංකු නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය (SDF) පැවැති සියයට 5.50 ක අගයේ සිට සියයට 6.50ක් දක්වා ඉහළ නැංවූ අතර, නිත්‍ය ණය පොලී අනුපාතය (SDF) පැවැති සියයට 6.50 ක සිට සියයට 7.50ක් දක්වා ඉහළ නැංවුණි.
එම අවස්ථාවේදී පැවැති සියයට 18.2 ක උද්ධමනය පාලනය මහ බැංකුවෙහි අරමුණ විය. කෙසේ වෙතත් උද්ධමනය තවදුරටත් ඉහළ යාමත් සමගින්ම මහ බැංකුව 2022 අප්‍රේල් මාසයේදී සිය පොලී අනුපාත පිළිවෙළින් සියයට 13.50 ක් සහ 14.50ක් දක්වා ඉහළ නැංවීම සිදු කළේය.
“පොළී අනුපාත ඉහළ යනවා කියන්නේ රටේ ව්‍යාපාරවලට එය ඍජුවම බලපානවා. ඒ කියන්නේ 2022 වසරෙන් පසුව යළිත් ආර්ථිකය හැකිළිමකට ලක් වෙනවා කියන එකයි. එහි මුල් අවස්ථාව තමයි ඉන්ධන මිල ගණන් ඉහළ නංවලා ඉන්ධන පරිභෝජනය සිමා කිරීම.“ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර පවතින යුද ගැටුම් හේතුවෙන් රට වෙත ගලා එන ප්‍රේෂණ මුදල් අඩුවී තිබෙන බවත්, සංචාරක ආදායම්ද සියයට 30කින් පමණ අඩුව තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම ඉන්ධන සඳහා වන වියදම්ද ඉහළ යෑමත් සමගින් මෙරට විදේශ මුදල් සංචිතයද අඩුවීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.
පසුගිය ජනවාරි අගදී මෙරට දළ විදේශ මුදල් සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.8 ක් වූ අතර, පෙබරවාරි මාසය අවසන් වනවිට එය ඩොලර් බිලියන 7 ඉක්මවීමටද සමත් විය.
“අපිට දරුණු අර්බුදයට මුහුණ දෙන්න වෙන්නේ 2027 දී. මොකද ගත් ණය ආපසු ගෙවන්න සිද්ධ වෙනවා. ඒත් පවතින තත්වය අනුව එය අසීරුයි. 1960 ඉදන් මේ දක්වා අපි 17 වතාවක් IMF එකට ගිහින් තිබෙනවා. ඒ කියන්නේ අවුරුදු හතරකට සැරයක් අපි IMF එකෙන් ණය අරගෙන තියෙනවා. මේ අර්බුදයත් එක්කම යළිත් වරක් එම අරමුදල වෙත යන්න සිදු වේවි කියන සැකය අපිට තිබෙනවා.” ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd