• ගුවන් යානා හැසිරවීමේ මෙහෙයුම් සහ මගී මෙහෙයුම් සඳහා ආයෝජකයන්ට අවස්ථාව අභිලාෂ යෝජනා ඉදිරිපත් කිරීමේ කාලසීමාව අප්‍රේල් 27 සිට ජුනි  08 දක්වා 

හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  (MRIA) මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා සුදුසු ආයෝජකයන්ට සිය අභිලාශ ප්‍රකාශයට පත් කිරීම සඳහා (EOI) ආරාධනා කරන බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පෞද්ගලික සමාගම වෙනුවෙන් වරාය සහ සිවිග් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි “සම්පත් උපයෝගී කරගැනීම (Utilize Resources) සඳහා වන ආයෝජන වෙනුවෙන් මෙම අභිලාශ කැඳවීම් සිදු කර තිබේ. 

ඒ අනුව මේ සඳහා කැමැත්තක් දක්වන ආයෝජකයන්, ආයතන, ආයෝජක සමාගම්, ඒකාබද්ධ ව්‍යාපාර ඇතුළු පාර්ශ්වයන් වෙත ආරාධනා කරන බව එහි සඳහන්ව තිබේ. 

මෙහිදී අදාළ සමාගම් දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සහ මෙරට නීතිය යටතේ ලියාපදිංචි සමාගම් විය යුතු බවත් වැඩිදුරටත් පැවසෙයි.

කැබිනට් මණ්ඩලය මගින් පත්කරන එකඟතා කමිටුවක්  (CANC) හරහා අභිලාෂ ඉදිරිපත් කිරීමට ආරාධනා කිරීම්, ආරාධනා ලබා ගැනීම්, ඉදිරිපත් වන අභිලාෂ විශ්ලේෂණය කිරීම සහ ඒ හරහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වන සුදුසුකම් සහිත පාර්ශ්වයක්/ පාර්ශ්ව තෝරා ගැනීම සිදු වනු ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ගුවන් යානා ගමන් කරන, ගොඩබස්සවන සහ ගුවන් ගත කරන ප්‍රදේශයේ (Airside)  සිදු කෙරෙන සියලු‍ම දෛනික මෙහෙයුම් සහ කළමනාකරණ ක්‍රියාවලි (සිවිල් ගුවන් තොටුපොළ මෙහෙයුම්) සහ ගුවන් තොටුපොළෙහි පොදු මහජනතාවට සහ මගීන්ට ප්‍රවේශ විය හැකි ප්‍රදේශයේ සිදු කෙරෙන සියලු‍ම මෙහෙයුම් කටයුතු  (Landside Operations) යනාදිය සඳහා ආයෝජකයන් සොයන බව පැවසෙයි.

මෙලෙස අදාළ ආයෝජන සඳහා වන අභිලාශ ඉදිරිපත් කිරීමේ කාලය අප්‍රේල් 27 වැනිදා සිට ජූනි 08 වැනිදා දක්වා සෑම වැඩකරන දිනයකම පෙරවරු 9.00 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වන බවත් ගුවන් තොටුපොළ සමාගම පවසයි. ඒ අනුව ජූනි 09 වැනිදා පස්වරු 2.00 පෙරාතුව එම යෝජනා ඉදිරිපත් කළ යුතුව ඇත.

මෙහිදී අදාළ අභිලාශ ඉදිරිපත් කරන ආයෝජකයන් ශ්‍රී ලංකා මහ බැකුවේ හෝ ජාත්‍යන්තර බැංකුවක් මගින් අනුමැතිය ලත් මෙරට පිළිගත් වාණිජ බැංකුවක් හෝ මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් මගින් ලබා දෙන එක්සත් ජනපද ඩොලර් 500ක් වටිනා බැංකු කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතුව ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි. 

එසේ නැත්නම් අදාළ මුදල කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ පිහිටි ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ මූල්‍ය අංශය වෙත මුදල් තැන්පතුවක් ලෙස ඉදිරිපත් කළ හැකි බවද පවසයි.