• ප්‍රමාණවත් බස් නොමැතිවීම, ඉංජිනේරු, රියදුරු තාක්ෂණික සේවක හිඟය ප්‍රධානයි  
  • ගැටලු‍ හඳුනාගෙන විසඳුම් ලබාදීමට ජාතික ප්‍රවාහන කොමිසමට අවස්ථාව ලබාදී ඇති බව කියයි 
  • 2025 ජ‌ූනි වනවිට සේවයට එක් කළ සිසු සැරිය සහ නිසි සැරිය බස් ගණන 1,549ක් සහ 663ක්  

භානුක අමරසිංහ 


රට තුළ මගි ප්‍රවාහන සේවාවේ ගුණාත්මක බව දියුණු නොවීම සඳහා මූලික කරුණු රැසක් පවතින බව මහ බැංකුව පවසයි. ඒ අනුව ප්‍රමාණවත් බස් සංඛ්‍යාවක් නොමැතිවීම මෙන්ම ඉංජිනේරුමය සේවා සැපයීමේ හිඟතා පැවතීම ඊට මූලිකවම බලපා තිබේ.  

එසේම රියදුරු, කොන්දොස්තර මෙන්ම තාක්ෂණික කාර්ය මණ්ඩල හිඟය සහ ඔවුන් වෙත ලබා දෙන ප්‍රමාණවත් නොවන පුහුණුවද මේ සඳහා බලපා තිබෙන බවත් මහ බැංකුව පසුගියදා නිකුත් කළ 2025 වසර සඳහා වන ආර්ථික සහ සමාජයීය යටිතල පහසුකම් වාර්තාව තුළ සඳහන් කර තිබේ. 

 “2025 ජූනි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි 2025 අංක 08 දරන ජාතික ප්‍රවාහන කොමිෂන් (සංශෝධන) පනත බලාත්මක කිරීම හරහා ජාතික ප්‍රවාහන කොමිසමට දැනට පවතින මෙම අවශ්‍යතා යාවත්කාලීන කිරීම සඳහා නීතිමය බලය ලබා දී තිබෙනවා. ඒ හරහා මෙම ගැටලු‍ වෙත ප්‍රායෝගික විසඳුම් ලබාදීමට අවස්ථාව පවතිනවා.“ මහ බැංකුව පවසයි. 

එසේම මෙම සංශෝධිත පනත මගින් ජාතික ප්‍රවාහන කොමිසම වෙත පාසල් බස් රථ, වෑන් රථ මෙන්ම ත්‍රිරෝද රථද නියාමනය සඳහා අවස්ථාව ලබාදී තිබෙන බවත්, ඒ හරහාද එම මගී ප්‍රවාහන සේවාවල ගුණාත්මක බව දියුණු කිරීම සඳහා අවස්ථාව පවතින බවත් මහ බැංකුව සඳහන් කරයි. 

මේ අතර ජාතික ප්‍රවාහන කොමිසම මගින් රට තුළ මගී ප්‍රවාහන කටයුතු දියුණු කිරිම සඳහා පසුගිය කාලය තුළ ක්‍රියාමාර්ග රැසක්ද ගෙන තිබෙන බව මෙම වාර්තාව පෙන්වා දෙයි.  

ඒ අනුව 2025 වසරේ මුල් අර්ධය තුළදී පමණක් නව සිසුසැරිය බස් රථ 55ක් සේවයට එක් කිරීමට ඔවුන් සමත්ව ඇත. එසේම මධ්‍යම රාත්‍රියේදී ක්‍රියාත්මක නිසිසැරිය සේවාව සඳහා බස් රථ 332ක් සේවයට එක් කිරීමටත් එම කොමිසම කටයුතු කර තිබේ.  

ඒ අනුව 2025 ජුනි මාසය වන විට රට තුළ ක්‍රියාත්මක සිසු සැරිය සහ නිසි සැරිය සේවා සංඛ්‍යාව පිළිවෙලින් 1,549ක් සහ 663ක් බවට පත්ව තිබෙන බවද මෙම වාර්තාව වැඩිදුරටත් පවසයි.