ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් පසුගියදා පවත්වනු ලැබූ 33 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී කුකුඵ මස් හා සත්ව නිෂ්පාදන අංශයේ (මධ්‍යම පරිමාණ) රන් සම්මානය දිනා ගැනීමට බයිරහා ෆාම්ස් පී.එල්.සී සමත් විය. ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් බයිරහා ෆාම්ස් ලබාදුන් සුවිශේෂී දායකත්වය මෙම සම්මානයෙන් ඇගයීමට ලක් කර ඇත. 

ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ විශිෂ්ටත්වය හා හැකියාව ඇගයීමට ලක් කරන මෙරට ප්‍රමුඛතම ජාතික මට්ටමේ සම්මාන උළෙලක් ලෙස NCE සම්මාන උළෙල සැලකේ. අපනයන වර්ධනය, වෙළෙඳපොළ සහ නිෂ්පාදන සංවර්ධනය, අගය එකතු කිරීම, ගුණාත්මකභාවය සහ පාරිසරික කළමනාකරණ ක්‍රම, සන්නාමකරණය, නවෝත්පාදනය, පර්යේෂණ හා සංවර්ධන කටයුතු මෙන්ම යහපාලන භාවිත වැනි නිර්ණායක රැසක් පාදක කරගනිමින් මෙම සම්මානය ප්‍රදානය කරනු ලබයි. 

2024 වසරට සාපේක්ෂව ගෙවුණු 2025 වසරේදී අගය එකතු කළ උසස් තත්වයේ නව නිෂ්පාදන හඳුන්වා දීමට බයිරහා ෆාම්ස් කටයුතු කරන ලදී. ඒ නිසාම 2025 වසරේදී අපනයන කෝටාව සියයට 25 කින් ඉහළ නංවා ගැනීමටද හැකිවූ අතර එම විශිෂ්ටත්වය පාදක කරගනිමින් NCE රන් සම්මානයෙන් පිදුම් ලැබීමට වරම් හිමිවිය. එසේම සියලු‍ මෙහෙයුම් අදියරවලදී ගුණාත්මකභාවය පිළිබඳ මනා පරීක්ෂාව සහ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කටයුතු කිරීම හේතුවෙන් බයිරහා නිෂ්පාදන ශ්‍රී ලාංකික පාරිභෝගික විශ්වාසය දිනාගෙන ඇත. 

NCE සම්මානය පිළිබඳව අදහස් දැක්වූ බයිරහා ෆාම්ස් පී.එල්.සී හි කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී යාකුත් නලීම් මහතා මෙසේ පැවසීය. “පරම්පරා ගණනාවක් පුරා ගුණාත්මකභාවයෙන් යුතු කුකුඵ මස් නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් දැයක් පෝෂණය කිරීමට බයිරහා කටයුතු කර තිබෙනවා. 2025 වසර තුළ අප ලැබූ සාර්ථකත්වයේ සහතිකයක් ලෙස මෙම රන් සම්මානය පෙන්වා දිය හැකියි. 

පසුගිය කාලය තුළ අපනයනය ඉහළ නැංවීම, නිෂ්පාදනවල අගය එකතු කිරීම සහ උසස් තත්වයේ නව නිෂ්පාදන හඳුන්වාදීම වැනි බොහෝ දේ මෙම ජයග්‍රහණයට විශේෂ හේතුවක් වුණා. ඒ වගේම මෙම සම්මානයෙන් අපගේ කණ්ඩායමේ කැපවීම සහ නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉහළම ප්‍රමිති අනුව කටයුතු කිරීම වැනි දේ ද මනාව ප්‍රදර්ශනය වෙනවා. තවදුරටත් අපගේ නිෂ්පාදනවල අගය ඉහළ නැංවීමට මෙන්ම පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” 

දශක 5කට අධික කාලයක් තිස්සේ මෙරට කුකුළු මස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරන බයිරහා ෆාම්ස් පී.එල්.සී, නිෂ්පාදන අපනයනය තුළින් අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයට ද සුවිසල් දායකත්වයක් දක්වමින් සිටියි. ඔවුන් සතු ප්‍රතිපත්තිගරුක මෙහෙයුම් ක්‍රියාවලිය, ස්ථාවර ගුණාත්මක ප්‍රමිති සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග පවතින ශක්තිමත් හවුල්කාරීත්වය හේතුවෙන් ජාතික ආර්ථිකයේ වර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදීමට බයිරහා ෆාම්ස් පී.එල්.සී සමාගමට හැකි වී ඇත.