• රාජ්‍ය ව්‍යවසාය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි 
  • රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසාය සැබෑ ලෙසම ජනතාකරණයට ලක්වීමක් මින් සිදුවන බව පවසයි 
  • ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ වූ බොහෝ රටවල රාජ්‍ය ව්‍යවසාය වඩාත් කාර්යක්ෂම තත්වයට පත්වෙලා 

භානුක අමරසිංහ 


සභාපති දිමුතු අබේසේකර

රජය වෙත බදු ගෙවන ජනතාව රජය සතු ව්‍යවසායන්හි (SOE) කොටස්කරුවන් බවට පත් කිරීම හරහා එම රාජ්‍ය ව්‍යවසාය සහ ජනතාව අතර ඉතාමත් හොඳ සබඳතාවක් ගොඩනැංවිය හැකි බව කොළඹ කොටස් හුවමාරවේ සභාපති දිමුතු අබේසේකර මහතා පවසයි. 

විශේෂයෙන්ම ඒ හරහා ජනතාවට එම ව්‍යවසායන්හි වර්ධනයට සහ සාර්ථකත්වය වෙතද දායකත්වය ලබාදිය හැකි බවත්, ලොව පුරා එවැනි සාර්ථක අවස්ථා බොහෝ පවතින බවත් ඒ මහතා අවධාරණය කරයි. 

රජය සතු ව්‍යවසාය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීම හරහා ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ඇතුළු කරගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැත්වුණු සමුළුවක් අමතමින් සභාපතිවරයා මෙම කරුණු සඳහන් කළේය. 

“අද වනවිට බොහෝ රටවල් ප්‍රාග්ධන වෙළෙඳපොළ හරහා මේ රාජ්‍ය ව්‍යවසාය වඩාත් කාර්යක්ෂම, මූල්‍යමය ශක්තිමත් සහ වඩාත් විනිවිදභාවයෙන් යුත් ව්‍යාපාර බවට පත් කළ හැක්කේ කෙසේද යන්න සොයා බලමින් සිටින්නේ. දැනටමත් මේ සඳහා ලබා දිය හැකි ජාත්‍යන්තර අත්දැකීම් රැසක් තිබෙනවා.“ 

මේ ආකාරයට රාජ්‍ය ව්‍යවසායවල කොටස්හිමිකරුවන් බවට පත්වීමත් සමගින්ම ජනතාව රටෙහි ආර්ථික සංවර්ධනය වෙත ඍජුවම දායක වන පිරිසක් බවට පත්වන බවත් සභාපතිවරයා සඳහන් කළේය. 

“මෙය තමයි රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසාය සැබෑ ලෙසම ජනතාකරණයට ලක් වුණා කියන්නේ.” 

විශේෂයෙන්ම රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසාය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුත් සහ දීර්ඝ කාලීන තිරසාරත්වයකින් පවත්වාගෙන යාමේ වත්මන් රජයේ අරමුණද මේ සමගින් හොඳින් ගැළපෙන බවද ඒ මහතා පවසා සිටියේය. 

“උදාහරණයක් විදියට වියට්නාමය වගේ රටවල රාජ්‍ය ව්‍යවසාය ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත පිවිසීමත් සමගින්ම එම ව්‍යවසායන්හි කාර්යසාධනය තවදුරටත් ශක්තිමත් කිරීමට වගේම ආයෝජක විශ්වාසය ඉහළ නැංවීමටත් හේතු වුණා.”

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙම ප්‍රතිසංස්කරණ සහ ආයතනික සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කරන්නේ නම්, ප්‍රතිපත්ති සම්පාදකයන්, රාජ්‍ය ව්‍යවසායන්හි ප්‍රධානීන් මෙන්ම වෙළෙඳපොළ ආයතනද මෙම රාජ්‍ය ව්‍යවසාය වඩාත් ශක්තිමත් සහ තිරසාරත්වයට පත් කිරීම සඳහා ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙතින් ලබා දිය හැකි සහාය පිළිබඳ ප්‍රායෝගික ක්‍රම සොයා බැලිය යුතු බවත් සභාපතිවරයා පවසයි. 

“එහි අවස්ථාවක් විදියට තමයි කොළඹ කොටස් හුවමාරුව තුළ  Catalist  නමින් රාජ්‍ය ව්‍යවසාය ලැයිස්තුගත කිරීම සඳහාම වෙන් වූ පුවරුවක් ස්ථාපිත කර තිබෙන්නේ.“ 

ඒ අනුව මෙම ජාතික අවශ්‍යතාව වෙනුවෙන් සහාය දැක්වීමට කොළඹ කොටස් හුවමාරුව සෑම විටම සූදානමින් සිටින බවත්, ඒ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අතිශය වැදගත් ආයතන වඩාත් ශක්තිමත් කළ හැකි බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.