කොරියාවෙන් ඩොලර් මිලියන 10ක ප්‍රදානයක්


නිමල කොඩිතුවක්කු


වැඩිදියුණු කළ ත්‍රිපෝෂ වැඩසටහනක් සඳහා ඔරොත්තු දෙන ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් බඩඉරිඟු‍ පදනම් කරගත් ආහාර පද්ධතියක් ගොඩනැගීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මෙරට ජාතික පෝෂණය සම්බන්ධයෙන් වන මැදිහත්වීම්වල කොටසක් ලෙස ත්‍රිපෝෂ වැඩසටහන නගා සිටුවීම සඳහා ලෝක ආහාර වැඩසටහන විසින් සහාය ලබා දීම සිදු කරනු ලබයි.
ඒ අනුව, ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන බඩඉරිඟු‍වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ත්‍රිපෝෂ සැපයුම් දාමය ශක්තිමත් කිරීමේ අරමුණින් “වපුරමු ගොඩනැගෙමු” යනුවෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන විසින් ව්‍යාපෘති යෝජනාවක් සකස් කරනු ලැබ ඇත.
යෝජිත ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කුඩා හා මධ්‍ය පරිමාණ බඩඉරිඟු‍ ගොවීන් 7,500කට පමණ ප්‍රතිලාභ ලැබීමට නියමිත අතර, මුළු ව්‍යාපෘතිය සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ප්‍රදානයක් ලබා දෙනු ලබයි.