
- බීඩි නිෂ්පාදනය සඳහා අලුතෙන් බලපත්‍ර නිකුත් කළ 600 ක් පමණ නිෂ්පාදකයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ සොයාබැලීම අඩුවෙන්
යොහාන් භාසුර
ශ්‍රී ලංකාවේ බීඩි කර්මාන්තයේ ඝෘජු හා වක්‍ර ලෙස යෙදී සිටින ලක්ෂ පහක පමණ පිරිසකගේ ජීවනෝපාය අවධානමකට ලක්ව ඇති බව සමස්ත ලංකා බීඩි, සුරුට්ටු නිෂ්පාදකයන්ගේ සහ බීඩි කොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
බීඩි එතුම්කරුවෝ, බීඩිවල ලේබල් අලවන්නන්, බීඩි කර්මාන්තයේ නිරත කම්කරුවන්, දුම්කොළ ගොවීන්, බීඩි අලෙවිකරන්නන් ඇතුළු විශාල පිරිසක් බීඩි කර්මාන්තය සමග බද්ධවී සිටින බවත් ඇතැමුන්ගේ සම්පූර්ණ ජීවිත කතාවම ලියවී ඇත්තේ බීඩි කර්මාන්තය සමග බවත් එම සංගමය කීය.
බීඩි කර්මාන්තකරුවන්ට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවී තිබීම නිසා බීඩි කර්මාන්තය බිඳවැටෙමින් පවතින බව කියන එම සංගමය බීඩි සඳහා අය කරන බදු ක්‍රමය අවිධිමත් වීමත්, නීත්‍යානුකූල නොවන අයුරින් රට තුළට බීඩි කොළ ගෙන ඒම නිසා බීඩි කර්මාන්තයේ නිරත ලක්ෂ පහකගේ පමණ රැකියා මෙලෙස අනතුරට ලක්ව තිබෙන බවත් සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුව බීඩි නිෂ්පාදනය කිරීමට අදාළව බලපත්‍ර 800 ක් පමණ නිකුත් කර තිබෙන බවත් වෙළෙඳපොළේ බීඩියක් රුපියල් 15 ක් වැනි මිලකට අලෙවි කරන අතර බීඩියකට රුපියල් 3 ක බද්දක් අයකරන බවත් එම සංගමය පවසයි.
බීඩි කර්මාන්තය සඳහා ක්‍රියාත්මක බදු ක්‍රමය අවිධිමත් බවත් බීඩියට දුම්කොළ දැමූ පසුව එය නිමි නිෂ්පාදනයක් යැයි සුරාබදු දෙපාර්තමේන්තුව කියන අතර ආදායම් බදු දෙපාර්තමේන්තුව බීඩිය වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් පසු බදු අයකරන බවත් සමස්ත ලංකා බීඩි, සුරුට්ටු නිෂ්පාදකයන්ගේ සහ බීඩි කොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ඉන්දික විමලරත්න මහතා පැවසීය.
නිමි නිෂ්පාදනයකට බදු ගෙවීම සාමාන්‍ය තත්වයක් වන අතර ඊට අදායම් බදු සහ සෙස් බදු ආදී සියල්ල ඇතුළත් වන බව කී විමලරත්න මහතා නිමි බීඩියක් කියන කාරණය දුම්කොළ පනතේ නිසි විග්‍රහයක් නොමැතිවීම ගැටලුවක් බව ද සඳහන් කළේය.
නිෂ්පාදකයන් බීඩිය ඔතා, ලේබල් අලවා, බණ්ඩල් සකස් කිරීමෙන් පසුව නිමි නිෂ්පාදනයක් බවට පත්වන බව කී විමලරත්න මහතා පැවසුවේ නියම ආකාරයට නම් එම නිමි නිෂ්පාදනයට බදු අයකළ යුතු බවත්ය.
එහෙත් බීඩිය නිමි නිෂ්පාදනයක් කිරීමට පෙර සියලුම අවස්ථාවලට බදු අයකරන බව ද කී ඒ මහතා නිසිආකාරයෙන් බදු ගෙවන බීඩි කර්මාන්තකරුවන්ට මේ හේතුවෙන් දැඩි අසාධාරණයක් වන බව සඳහන් කළේය.
බීඩි නිෂ්පාදනය සඳහා අලුතෙන් බලපත්‍ර නිකුත් කළ 600 ක් පමණ නිෂ්පාදකයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ සොයාබැලීම ඉතාම අල්ප බවත් ඒ නිසා ඔවුන් නිවැරදි ලෙස සුරාබදු නොගෙවා අඩු මිලට බීඩි අලෙවිකරන බවත් ලේකම්වරයා කීය. වසර ගණනාවක සිට බීඩි නිෂ්පාදනය කර සුරාබදු දෙපාර්තමේන්තුවට මෙතෙක් කාලයක් නිසියාකාරව බදු ගෙවූ ව්‍යාපාරිකයන් 200 කට පමණ මෙම තත්වය හේතුවෙන් අසාධාරණයට මුහුණදීමට සිදුවී තිබෙන බව ද විමලරත්න මහතා පැවසීය.
නීති විරෝධී ලෙස ඉන්දියාවෙන් බීඩි කොළ හෙවත් ‘තෙන්දු’ මෙරටට ගෙන්වීම නිවැරදි ලෙස බදු ගෙවන බීඩි නිෂ්පාදකයන් මුහුණ දී ඇති දෙවැනි විශාලතම ගැටලුව බව කී විමලරත්න මහතා බෝට්ටු මාර්ගයෙන් සහ වෙනත් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් බීඩි කොළ රට තුළට ගෙන්වීම ඉහළ ගොස් තිබෙන බව ද සඳහන් කළේය.
බීඩි නිෂ්පාදකයන්ගේ ගැටලුව සම්බන්ධව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා පැවසුවේ බීඩි නිෂ්පාදකයන් බදු සම්බන්ධයෙන් කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන බීඩියට රජයෙන් බද්දක් නියම කර ඇති බවත්ය.
බීඩියකට රුපියල් 15 ක මිලක් නියමකර ඇති අතර ඉන්දියාවෙන් නීති විරෝධීව ගේන බීඩි කොළවලින් නිෂ්පාදනය කර හොරෙන්ම අලෙවිකරන පුද්ගලයන් සිටින බවත් ලියාපදිංචි නිෂ්පාදකයන්ට කර්මාන්තය කරගෙන යෑමට අවශ්‍ය පරිසරය සකස් කරමින් සිටින බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීය.
ඉන්දියාවෙන් නීතිවිරෝවීව ගේන තෙන්දු කොළ සුරාබදු දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ පොලිසිය වැටලීම් කර අත්අඩංගුවට ගන්නා බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd