LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී, ප්‍රමුඛතම මානුෂීය සමාජ සත්කාරක වැඩසටහන ‘දිවි සවිය’ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කැඳවන ලද ජාතික මට්ටමේ ඇගයීමේ උත්සවයකදී පිළිගැනීමට ලක් විය. LOLC දිවි සවිය ‘ඔබයි, මමයි, අපේ රටයි’ වැඩසටහනේ දෙවැනි අදියර සාර්ථක ලෙස නිමා කිරීමෙන් පසු, එහි ප්‍රගතිය ඉදිරිපත් කෙරුණු මෙම උත්සවයේදී, එහි අර්ථවත් දායකත්වය පිළිබිඹු කෙරිණ. එමගින් LOLC සමූහය, ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීමේ හා ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කරලීමේ ජාතික හවුල්කරුවකු ලෙස සිය භූමිකාව තහවුරු කළේය.

LOLC දිවි සවිය විශේෂ පිළිගැනීමේ උත්සවය බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේදී 2026 පෙබරවාරි 27 වැනිදා පවත්වන ලද අතර, එය දිවිසවිය සමාජ සත්කාරක වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිළිගැනීමට ලක් කළ දෙවැනි අවස්ථාව සනිටුහන් කළේය.

උත්සවය අතරතුරදී LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා ව්‍යාපෘතිය පිළිබඳ පුළුල් යාවත්කාලීන ඉදිරිපත් කිරීමක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත සිදුකරනු ලැබීය. දිවයින පුරා පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ වේගවත් ප්‍රගතිය මෙම යාවත්කාලීන කිරීමෙන් අවධාරණය කෙරිණ. ඒ යටතේ දින 45 ක් තුළ ප්‍රතිසංස්කරණය නිමා කළ පාසල් 200 ක් නැවත භාරදීම සිදුවූයේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ප්‍රජාවන්හි අධ්‍යාපන කටයුතු කඩිනමින් යළි ආරම්භ කිරීමට ඉඩ සලසමිනි. 

LOLC දිවි සවිය පසුගිය දශකය තුළ ගෝලීය වසංගත සහ ආර්ථික අර්බුදයේ සිට, මෑත කාලීන ස්වාභාවික විපත් දක්වා ප්‍රධාන පෙළේ ජාතික අර්බුදවලට ප්‍රතිචාර දක්වමින් ආයතනික නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මානුෂීය මෙහෙවරක් බවට පත්ව ඇත. 

LOLC දිවිසවිය 2021 වසර මුලදීිජීවිතය දිනන්නට’ යන තේමාවෙන් ප්‍රථම වරට දියත් කරන ලද්දේ, ගෝලීය වසංගතයෙන් පසු ආර්ථික අර්බුදය මධ්‍යයේ සංකීර්ණ අභියෝගවලට මුහුණ දී සිටි පවුල් 125,000 කට දින 100 ක් පුරා වියළි සළාක බෙදා හරිමිනි. 

ඉන් පසුවිදැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්’ ආරම්භ කරන ලද දිවි සවිය දෙවැනි වැඩසටහනෙන් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40 ක් පමණ ආවරණය වන පරිදි පාසල් 4090 ක සිසුන් 296,025 කට සහාය වූයේ ඉහළ යන ජීවන වියදම සහ ආර්ථික දුෂ්කරතා මැද ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා ප්‍රවේශය තර්ජනයට ලක් වූ අවස්ථාවකදීය. LOLC සමූහය එම වැඩසටහන සඳහා දරන ලද පිරිවැය රුපියල් බිලියන 2.5කි.

කිසිදා නොදුටු ආකාරයෙන් ළමයින් පාසල හැරයාම සහ ග්‍රාමීය පාසල් වැසීයාමේ අවදානමක් පැවති සමයක මෙම ව්‍යාපෘතිය යටතේ දීපව්‍යාප්ත ව්‍යුහගත බෙදා හැරීමේ වැඩසටහනකින් අත්‍යවශ්‍ය පාසල් උපකරණ හා සහ ලිපි ද්‍රව්‍ය ලබාදීම සිදුවිය. මෙම දැවැන්ත ප්‍රයත්නය මගින් විශ්වාසය ප්‍රවේශය හා ක්‍රියාකාරීත්වයේ විශිෂ්ටත්වය මත ස්ථාපිත කෙරුණු පදනම, දිවිසවිය ඊළඟ අදියරේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සහ සාර්ථකත්වය ලැබීමට මහෝපකාරී විය.

දිවි සවිය තුන්වැනි පරිච්ඡේදය ‘ඔබයි, මමයි, අපේ රටයි’ දියත් කරන ලද්දේ ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ ප්‍රදේශවල පීඩාවට පත් පවුල් 4000 ක් සහ යටිතල පහසුකම්වලට හානි සිදුවූ පාසල් 200 ක් තක්සේරුවකින් හඳුනා ගැනීමෙන් අනතුරුවය. සියලු‍ රජයේ සහ නිල අධිකාරීන් විසින් පරීක්ෂා කොට තහවුරු කර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සහ MTV චැනල්ස් (පුද්ගලික) සමාගම සමග සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම LOLC දිවිසවිය වැඩසටහන යටතේ, අවශ්‍යම පිරිස් වෙත ආධාර ළඟා වන බව සහතික කිරීම සඳහා ව්‍යුහගත කර ඇත. මෙම වැඩසටහන යටතේ රුපියල් මිලියන 500 ක් වැයකරමින් පීඩාවට පත් පවුල් සඳහා විශේෂයෙන් සැකසූ සුපිරි සහන මළු බෙදාදීම සිදුවූ අතර, එහි 1 වැනි සහ 2 වැනි අදියර යටතේ පාසල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ ප්‍රජාව වෙත පුළුල් සහයෝගයක් සාර්ථකව ලබාදීමට හැකි විය. එළැඹෙන ඉදිරි අදියරේදී දිට්වා සුළි කුණාටුවෙන් මුළුමනින්ම විනාශයට පත් තෝරාගත් පාසැල් සම්පූර්ණයෙන්ම නැවත ගොඩ නැගීමට අවධානය යොමු කෙරේ. 

වැඩසටහනේ පළමු අදියර යටතේ දිස්ත්‍රික්ක 6 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69 කට අත්‍යවශ්‍ය ආහාර සහ ආහාරමය නොවන සහන මළු ලබා දෙන ලද්දේ කඩිනම් සහනයක් ලෙසිනි. දිගු කාලීන ප්‍රකෘතිමත් වීම පිළිබඳ අවධානය යොමු කළ දෙවැනි අදියරේදී සිසුන්ට ආරක්ෂිත ලෙස නැවත ඉගෙනීමේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ සැලසෙන පරිදි දින 45 ක් තුළ පාසල් 200 ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගැනිණි.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. “පාසල් 200 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ අපගේ වැඩසටහනේ ප්‍රතිඵල පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට ලැබීම ඉමහත් වරප්‍රසාදයක් ලෙස සලකන අතර, LOLC දිවිසවිය ප්‍රජාව යළි ප්‍රකෘතිමත් කිරීමට සහ නැවත ගොඩනැංවීමට අඛණ්ඩව සහාය ලබාදෙන ආකාරය එමගින් පිළිබිඹුවේ. මෙම වැඩසටහන මහජනතාවගේ සිත්සතන් සමග ශක්තිමත් ලෙස බැඳී ඇති අතර ජාතික මට්ටමේ අභියෝගවලදී පෞද්ගලික අංශයට රජයේ ප්‍රයත්නයට සහාය වෙමින් එම අවශ්‍යතා සපුරාලිය හැකි ආකාරය පෙන්නුම් කරයි. 2025 වසරේ දිවිසවිය දෙවැනි වැඩසටහන යටතේ පාසල්වලින් සියයට 40ක සිසුදරුවෝ දහස් ගණනකට සහය සැලසීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිවිසවිය නිසි පිළිගැනීමකට ලක් කිරීමෙන් පසු ඔවුන් එය සිදු කරන දෙවැනි අවස්ථාව මෙයයි.