2025 වර්ෂයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා දක්වන ලද දායකත්වය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය ආයතනයක් වන Eco Spindles විසින් HDFC බැංකුව ඇගයීමට ලක්කිරීම පසුගියදා සිදුවිය.
Eco Spindles ආයතනයේ අලෙවිකරණ ප්‍රධානී දිලුක්ෂාන් ජයසේකර මහතා විසින් HDFC බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරි හේමාල් ලොකුගීගන මහතා වෙත බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී මෙම සහතිකය පසුගියදා ප්‍රදානය කරන ලදි.
2022 ඔක්තෝම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන ප්ලාස්ටික් එක්රැස් කිරීමේ බඳුන් ජාලය හරහා ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට යොමුකිරීමේ වැඩසටහනට HDFC බැංකුව සක්‍රීයව දායක වී ඇත. මෙම වැඩසටහන මගින් PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීම් සහගත ලෙස බැහැර කිරීමට පහසුකම් සලසන අතර, Eco Spindles ආයතනය එම අපද්‍රව්‍ය පොලියෙස්ටර් නූල් සහ බුරුසු කෙඳි වැනි අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කරමින් තිරසාර ආර්ථිකයක් සඳහා දායක වේ.
මෙහිදී අදහස් දැක්වූ හේමාල් ලොකුගීගන මහතා සඳහන් කළේ, “බැංකුවේ පාරිසරික වැඩසටහන් තම ආයතනික වගකීමේ ප්‍රධාන අංගයක් බවයි. වසර පුරා රැස්කළ ප්ලාස්ටික් ප්‍රමාණයෙන් පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් බැංකුව දක්වන සැලකිය යුතු දායකත්වය මෙම ඇගයීම හරහා මනාව පැහැදිලි වෙනවා. අපගේ ශාඛා කිහිපයක් හා පොදු ස්ථාන රැසක් හරහා මෙම අපද්‍රව්‍ය කළමනාකරණය ඒකාබද්ධ කිරීමෙන් පිරිසුදු පරිසරයක් වෙනුවෙන් දායක වීමට අපගේ පාර්ශවකරුවන්ට ප්‍රායෝගික අවස්ථාවක් සලසා දී තිබෙනවා. 2023 වසරේ සිට අඛණ්ඩව වාර්ෂිකව පිරිනැමුණු මෙම සහතිකය මෙවර හිමිවූයේ තුන්වැනි වරටයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.