• ගනුදෙනුවේ වටිනාකම ඩොලර් මිලියන 57.6 ක් 
  • ඩොලර් මිලියන 250ක ආයෝජනයකින් අධිසුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් 

ප්‍රයිම් සමුහය සහ මෙල්වා සමාගම එක්ව කොළඹ වරාය නගරයෙහි ඉහළ වටිනාකමක් සහිත මරීනා-ෆ්‍රන්ට් භූමියෙහි අක්කර 4ක බිමක් මිලදී ගැනීමට පියවර ගත් බව වාර්තා වෙයි. මෙම ගනුදෙනුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 57.6 කි. 

ප්‍රයිම් සහ මෙල්වා එක්ව ආසන්න වශයෙන් ඩොලර් මිලියන 250ක ආයෝජනයකින් සිදු කරන අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක් වෙනුවෙන් මෙම භූමිය මිලදී ගෙන තිබේ. 

මෙම ව්‍යාපෘතිය එම සමාගම් දෙක එක්ව පිහිටුවා ගත් ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පෞද්) සමාගම නම් සමාගමක් යටතේ සිදු කිරීම සැලසුමයි. එම නව සමාගම ප්‍රයිම් සමූහයෙහි මව් සමාගම වන ප්‍රයිම් ලෑන්ඩ් (පෞද්) සමාගමෙහි පරිපාලිත සමාගමක් ලෙස ස්ථාපිත කර තිබේ. 

වසර හතරක් තුළදී මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සැලසුම බවත් ඒ හරහා කොළඹ නගරයේ සුඛෝපභෝගී දේපළ භූදර්ශනය තවදුරටත් ඉහළ නංවනු ඇතැයිද එම සමාගම් පවසයි.