ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පිරමිඞ් විල්මාර් සමාගම සිය සමාජ සත්කාරක වැඩසටහන් මාලවේ කොටසක් ලෙස, දිවයින පුරා සිටින කුසලතා පිරි තරුණ තරුණියන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීම හරහා ඔවුන් බල ගැන්වීම අරමුණු කර ගනිමින් දීපව්‍යාප්ත ව ක්‍රියාත්මක කළ ‘ChefsHunt’  වැඩසටහන අති සාර්ථකව අවසන් කිරීමට සමත් විය. පිරමිඩ් විල්මාර් සමාගම විසින් සිය 20 වන සංවත්සරය සැමරීම නිමිති කර ගනිමින් සිරස  News First,  සූපවේදීන්ගේ සංසදය සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA)  සමඟ එක් ව මෙම සුවිශේෂී වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
ශ්‍රී ලංකාවේ සූපවේදී ක්ෂේත්‍රය වෙත සුදුසුකම් සහිත වෘත්තිකයින් දායක කිරීම අරමුණු කර ගනිමින් මාස 3ක් පුරා ක්‍රියාත්මක කරන ලද ‘ChefsHunt’  ජාතික වැඩසටහන රත්මලාන ස්ටයින් ස්ටූඩියෝ හි පැවති අවසන් මහා තරඟය සමඟින් නිමාවට පත් විය. 
පිරමිඩ් විල්මාර් සමාගම දශක ගණනාවක් පුරා මෙරට පාරිභෝගිකයින් සහ ආහාර සේවා වෘත්තිකයන් වෙත උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදන සහ සූප ශාස්ත්‍ර විසඳුම් සපයන විශ්වසනීය සමාගමක් වන අතර, ගුණාත්මක භාවය, නවෝත්පාදනය සහ තිරසාරභාවය වෙනුවෙන් කැප වී සිටින එම සමාගම, සූපවේදීන් සහ එම ක්ෂේත්‍රය ආශ්‍රිත කර්මාන්ත කොටස්කරුවන් සමඟ උපාය මාර්ගික සහයෝගිතා ගොඩ නංවා ගනිමින් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරයි. 
යාපනයේ සිට කොළඹ දක්වා දිවයින ම ආවරණය වන පරිදි, තෝරා ගත් ස්ථාන 10ක් කේන්ද්‍ර කර ගනිමින් වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණ තරුණියන් ඉලක්ක කර ක්‍රියාත්මක වූ වූ ‘ChefsHunt’  වැඩසටහන සඳහා 1000කට අධික තරුණ තරුණියන් සංඛ්‍යාවක් සහභාගි වූ අතර, එහි දී පුළුල් ඇගයීම් ක්‍රියාවලියක් හරහා දක්ෂයින් 25 දෙනෙකු තෝරා ගන්නා ලදී. තෝරා ගත් ජයග්‍රාහකයින්ට  M W Institute of Culinary Arts ආයතනය මඟින් ක්‍රියාත්මක වන  NVQ Level 4  පාඨමාලාවක් හැදෑරීම සඳහා වටිනා ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී.
දිනෙන් දින පරිණාමය වන සූපශාස්ත්‍ර ක්ෂේත්‍රය තුළ වෘත්තිකයෙකු ලෙස වර්ධනය වීමට අත්‍යවශ්‍ය තාක්ෂණික විශේෂඥතාව මෙන්ම මුළුතැන්ගෙයි කාර්යක්ෂමතාව, ආහාර අනුකූලතාව, නවෝත්පාදනය සහ වෘත්තීයභාවය වැනි අත්‍යවශ්‍ය නිපුණතාවලින් තරුණ සූපවේදීන් බල ගැන්වීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වූ ‘ChefsHunt’  වැඩසටහන හරහා උපදේශනය, තාක්ෂණික පුහුණුව, තරඟකාරී අවස්ථා හඳුන්වා දීම සහ ප්‍රායෝගික පුහුණුව තුළින් දක්ෂතා හා අවස්ථා වැඩි දියුණු කර ගැනීමේ හැකියාව ලබා දීම වැනි ප්‍රතිලාභ රැසක් ලබා දීම ද විශේෂත්වයකි.