• ASPI සියයට 0.22 කින් සහ S&PSL20 සියයට 0.59 කින් ඉහළට
  • සමාගම් අංශ 7 ක කොටස් මිල ඉහළට, අංශ 13 ක පහළට 

භානුක අමරසිංහ 


පෙබරවාරි මාසය තුළ කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු වූ විදේශ ආයෝජන පිටතට ගලා යෑම රුපියල් මිලියන 9,358.49ක් ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව මාසයේ ගනුදෙනු දින 2ක් හැර අනෙක් සියලු‍ම දිනවලදී මෙලෙස විදේශ ආයෝජන පිටතට ගලායෑමක් සිදුව තිබෙන බව බව පෙබරවාරි මාසය සඳහා වන කොටස් වෙළෙඳපොළ වාර්තාව ඉදිරිපත් කරමින් ඇම්බියොන් සිකිරියුරිටීස් සමාගම පවසයි. 

මෙම තත්වයත් සමගින්ම 2026 වසරේ ආරම්භයේ සිට පෙබරවාරි අවසානය දක්වා සිදුව ඇති විදේශ ආයෝජන පිටතට ගලායෑම් වටිනාකම රුපියල් මිලියන 16,145.75කි.

මේ අතර කොළඹ කොටස් හුවමාරුවෙහි දර්ශක අගයන් තවදුරටත් ඉහළ යාම පෙන්නුම් කරමින් පසුගිය පෙබරවාරි මාසයේදී සියලු‍ කොටස් මිල දර්ශකය සියයට 0.22 ක සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&PSL20) සියයට 0.59 ක ඉහළ යාමක් වාර්තා කර තිබේ. මෙහිදී මාසය තුළ ඇති වූ වඩාත් ධනාත්මක සිදු වීම් මෙලෙස දර්ශක අගයන් ඉහළ යාමට හේතුව වී තිබෙන පෙබරවාරි මාසයේදී ලැයිස්තුගත සමාගම් අංශ 7ක කොටස් මිල ඉහළ යාමක් සිදුව ඇති අතර, සමාගම් අංශ 13 ක කොටස් මිල පහළ යෑමක් සටහන්ව තිබේ.

“මේ අතරින් වාණිජමය සහ වෘත්තීමය සේවා අංශය සියයට 30.11ක කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්වා තිබෙනවා. ඒ වගේම සිල්ලර අංශය මාසය තුළ සියයට 6.7 ක දැවැන්ත අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.”  

’පෙබරවාරි මාසය තුළදී දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,616ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. එහෙත් ජනවාරි මාසයේ වාර්තා වූ රුපියල් මිලියන 7,095ක දෛනික පිරිවැටුම හා සැසඳීමේදී එය සියයට 21ක අඩුවීමක්. වසර තුළ මේ දක්වා දෛනික පිරිවැටුමේ සාමාන්‍යය රුපියල් මිලියන 6,356ක්.” ඇම්බියොන් සිකියුරිටීස් පවසයි.