• ජනවාරියට සාපේක්ෂව තේ කිලෝවක් රුපියල් 12.43 කින් අඩුවෙලා 
  • 2025 පෙබරවාරියට සාපේක්ෂව අඩුවීම රුපියල් 16.82 ක් 

භානුක අමරසිංහ 


2026 වසරේ පෙබරවාරි මාසයේදී ජාතික තේ අලෙවියේ වටිනාකමේ සාමාන්‍ය අගය තේ කිලෝවක් සඳහා රුපියල් 1,152.11 ක් (ඩොලර් 3.72ක්) ලෙස සටහන්ව තිබේ. 

ඒ අනුව මෙය ජනවාරි මාසයේදී තේ කිලෝවක් සඳහා වාර්තා වූ රුපියල් 1,164.54ක (ඩොලර් 3.76ක) වටිනාකම හා සැසඳීමේදී රුපියල් 12.43 ක (ඩොලර් 0.04) අඩුවීමක් බව තේ වෙන්දේසි ආයතයක් වන Forbes & Walker ආයතනය සඳහන් කරයි. 

 “ඒ වගේම 2025 වසරේ පෙබරවාරි මාසයේදී තේ කිලෝවක් සඳහා හිමි වූ රුපියල් 1,168.93 හා සසඳන විට මේ වසරේ පෙබරවාරියේදී රුපියල් 16.82ක අඩුවීමක් වාර්තා වී තිබෙනවා.“ 

මෙහිදී 2026 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙන්ම 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂවත් 2026 පෙබරවාරියේදී ඉහළ වගා බිම් තේ හැර, මැදි සහ පහළ වගා බිම් තේ යන කාණ්ඩවල වටිනාකම් අඩුවීමක් සිදුව තිබේ. 

ඒ අනුව 2026 පෙබරවාරියේදී ඉහළ වගා බිම් තේ කිලෝවක ජාතික තේ අලෙවියේ වටිනාකමේ සාමාන්‍යය රුපියල් 1,159.02 ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2026 ජනවාරියේදී හිමි වූ රුපියල් 1,143.12 හා සැසඳීමේදී රුපියල් 15.90ක ඉහළ යෑමකි. එසේම 2025 පෙබරවාරියේදී ලැබුණු රුපියල් 1,105.71 හා සැසඳීමේදී රුපියල් 53.31ක ඉහළ යෑමකි. 

කෙසේ වෙතත් මැදි වගා බිම් තේ කිලෝවක් සඳහා 2026 පෙබරවාරියේදී හිමි වූ මුදල වන රුපියල් 981.37, ජනවාරියේදී හිමි වූ රුපියල් 987.40 හා සැසඳීමේදී රුපියල් 6.03 ක අඩුවීමකි. එසේම එය 2025 පෙබරවාරියේදී හිමි වූ රුපියල් 1028.28 හා සැසඳීමේදී රුපියල් 46.91ක අඩුවීමකි. 

පහත් වගා බිම් තේ කිලෝවක වටිනාකමද 2026 පෙබරවාරි මාසයේදී රුපියල් 1,195.25ක් වන අතර, එය 2026 ජනවාරියේදී හිමි වූ රුපියල් 1,221.63 හා සැසඳීමේදී රුපියල් 26.38 ක අඩුවීමකි. එසේම 2025 පෙබරවාරියේ වාර්තා වූ රුපියල් 1,225.50 හා සැසඳීමේදී රුපියල් 30.25 ක අඩුවීමකි.