තේ තොග, තේ බෑග්, ග්‍රීන් ටී අපනයනය පහතට, තේ පැකට්ටු සහ ක්ෂණික තේ අපනයනය ඉහළට 


කිලෝ මිලියන 6.33 ක වැඩිම තේ ආනයන රට ඉරාකයයි 


තුර්කි තේ ආනයනයේ සියයට 124 ක වර්ධනයක් 


භානුක අමරසිංහ


2026 වසරේ පෙබරවාරි මාසයේදී මෙරට තේ අපනයනය තේ කිලෝ මිලියන 19,92 ක් ලෙස සටහන්ව තිබේ. කෙසේ වෙතත් මෙය 2025 වසරේ පෙබරවාරි මාසයේදී සිදුකළ කිලෝ මිලියන 20.39 ක තේ අපනයනය හා සැසඳීමේදී කිලෝ 477,588 ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ. 
මෙහිදී 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ පෙබරවාරි මාසය තුළ තේ අපනයන කාණ්ඩ අනුව මිශ්‍ර ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙන බව තේ තැරැව්කාර ආයතනයක් වන Forbes & Walker ආයතනය පවසයි. 
ඒ අනුව තේ තොග අපනයනය කිලෝ මිලියන 8.97 ක සිට කිලෝ මිලියන 8.42 ක් දක්වා කිලෝ 543,786ක අඩුවීමක් පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත් තේ පැකට්ටු අපනයනය කිලෝ මිලියන 8.64ක සිට කිලෝ මිලියන 8.67 ක් දක්වා කිලෝ 33,649 ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 
එසේම තේ බෑග් අපනයනය කිලෝ මිලියන 2.13 ක සිට කිලෝ මිලියන 21.12 ක් දක්වා කිලෝ 12,234 ක අඩුවීමක් සටහන් කර තිබේ. මීට අමතරව ග්‍රීන් ටී අපනයනය කිලෝ 386,594 ක සිට 364,589ක් දක්වා කිලෝ 22,005 ක අඩුවීමකි. එහෙත් ක්ෂණික තේ කිලෝ 259‍,163 ක සිට කිලෝ 325,950 ක් දක්වා කිලෝ 66,787 ක වර්ධනයක් පෙන්වා තිබේ. 

පෙබරවාරියේදී මෙරට තේ වැඩිම ප්‍රමාණයක් ආනයනය කළ රට වන්නේ ඉරාකයයි. එය කිලෝ මිලියන 6.53 ක් ලෙස සටහන්ව ඇති අතර, පෙර වසරේ වාර්තා කළ කිලෝ මිලියන 5.96 ට සාපේක්ෂව සියයට 9ක වර්ධනයකි. 
එසේම තුර්කිය තේ කිලෝ මිලියන 4.40 ක ආනයනයක් සමගින් දෙවැනි ස්ථානයට පත්ව ඇත. එය පසුගිය වසරේ එරට කළ කිලෝ මිලියන 1.97 ක ආනයනයට සාපේක්ෂව සියයට 124ක වර්ධනයකි. 
ඒ අනුව මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වුණු රුසියාව තෙවැනි තැනට පත්ව ඇති අතර, එරට ආනයනය කළ තේ ප්‍රමාණය කිලෝ මිලියන 4.09 ක සිට 3.72ක් දක්වා සියයට 9 ක අඩුවීමක් සටහන් ව ඇත.  මීට අමතරව කිලෝ මිලියන 2.19 ක් සමගින් එක්සත් අරාබි එමීරය සිව්වැනි, කිලෝ මිලියන 2.19 ක් සමගින් අසර්බයිජානය පස්වැනි, කිලෝ මිලියන 1.63ක් සමගින් සෞදි අරාබිය හයවැනි, කිලෝ මිලියන 1.49 ක් සහ 1.37 ක් සමගින් චිලිය සහ චීනය හත්වැනි සහ අටවැනි ස්ථානවලත් පසුවෙයි. 
මේ අතර ලිබියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය නව වැනි සහ දසවැනි ස්ථාන වෙත පත්ව ඇති අතර, ඔවුන් ආනයනය කර ඇති මෙරට තේ කිලෝ මිලියන 1.33 ක් සහ 1.27 ක් ලෙස සටහන්ව ඇත.