දේශීය පොල් සහ කිරි ගොවීන් සමඟ සමීපව කටයුතු කරමින් දිගු කාලීන සහජීවනය හරහා ගොවීන්ගේ කුසලතා වර්ධනයෙන් ජීවනෝපාය ශක්තිමත් කරලා


 

1906 වසරේදී ‘Good Food Good Life’ තේමාව කරගනිමින් වෙළෙඳ සමාගමක් ලෙස ඇරඹි නෙස්ලේ ලංකා සමාගම මේ වසරේ එහි 120 වැනි වසර සමරනු ලබයි. දේශීයව අලෙවි කරන සිය නිෂ්පාදනයන්ගෙන් සියයට 90ක් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කරන නෙස්ලේ ලංකා සමාගම වත්මන් සහ අනාගත ශ්‍රී ලාංකේය පරපුර පෝෂණය කරමින් සියලු දෙනාගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කරමින් සිටින්නේ ගුණාත්මක ආහාර පාන රැසක් ඔවුන් වෙත ලබා දෙමිනි. අද වන විට පාරිභෝගික අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ගේ සතුට වෙනුවෙන් සිය මෙහෙයුම් සිදු කරන සමාගම ජනතාවට ජීවනෝපාය සපයා දෙමින් පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරයි.

ළදරුවාගේ සිට මහලු විය දක්වා සෑම වයස් කාණ්ඩයකම පෝෂණ  අවශ්‍යතා සපුරාලන රසවත් හා පෝෂ්‍යදායී ආහාර පාන ලබාදීමෙන් පුද්ගලයන් හා පවුල්වලට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට නෙස්ලේ ලංකා සමාගම දශක ගණනාවක් තිස්සේ අවධානය යොමු කර ඇත. පාරිභෝගික විශ්වාසය හා ආදරය දිනාගත් සන්නාම රැසක් සමඟින් ආහාරවල සුරක්ෂිතතාව හා ගුණාත්මකබව කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමට ඔවුන් කටයුතු කර ඇත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවැසි පෝෂක අන්තර්ගත නිෂ්පාදනයන් පාරිභෝගිකයන් වෙත ලබා දෙමිනි. NESTOMALT සහ MILO වැනි සුප්‍රසිද්ධ සන්නාම හරහා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් අනුග්‍රහය ලබාදීමෙන් ශ්‍රී ලාංකිකයන් තුළ සෞඛ්‍ය සම්පන්න හා ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමටද නෙස්ලේ ලංකා සමාගම කැපවී සිටියි.

විශිෂ්ට නිෂ්පාදනයන්ගෙන් පමණක් නොනැවතී රටපුරා විවිධ ප්‍රජාවන් වෙත ධනාත්මක බලපෑමක් ඇති කිරීමටද නෙස්ලේ ලංකා සමාගම කැපවී සිටියි. එහිදී දේශීය පොල් සහ කිරි ගොවීන් සමඟ සමීපව කටයුතු කරමින් දිගු කාලීන සහජීවනය හරහා ගොවීන්ගේ කුසලතා වර්ධනය සහ වගකීම් සහගත ප්‍රසම්පාදනය හරහා ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට සමාගම නිරන්තරයෙන් කටයුතු කරන්නේ දේශීය ආර්ථිකයටද සුවිසල් දායකත්වයක් ලබා දෙමිනි. මෙරට තරුණ තරුණියන්ගේ රැකියා සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් ඉගෙනීම, කුසලතා සහ අවස්ථා ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගත් සේවා යෝජකයකු බවට පත්වීමටද නෙස්ලේ ලංකා සමාගමට හැකි වී ඇත. නිරන්තරයෙන් ජනතාව කේන්ද්‍ර කොට ගනිමින් සිය මෙහෙයුම් සිදු කරන සමාගම විවිධත්වය, සාධාරණත්වය හා සමානාත්මතාව අගයන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරයි. එපමණක් නොව BConnected වැනි සංවිධාන සමඟ එක්ව ආබාධිත පුද්ගලයන්ට රැකියා අවස්ථා ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට හා සියලු දෙනාට වැඩ කළ හැකි අවස්ථා නිර්මාණය කිරීමටද නෙස්ලේ ලංකා සමාගම සහයෝගය ලබා දෙයි. 

එසේම පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවන වගකීම් සහගත සමාගමක් ලෙස සෑම විටම සිය මෙහෙයුම්වලදී ලබා දෙන දායකත්වයද අති මහත්ය. 2050 වන විට කාබන් විමෝචනය ශුන්‍ය මට්ටමට ගෙන ඒම වෙනුවෙන් තිරසාර මෙහෙයුම් දියත් කිරීමට සමාගම කටයුතු කරයි. 

සිය මෙහෙයුම්වලදී පරිසරයට ඇති වන බලපෑම අවම කිරීම සඳහා වැදගත් පියවර රැසක් ගෙන ඇති සමාගම, කාබන් විමෝචනය අවම කිරීම වෙනුවෙන් 2024 වසරේදී ජෛව ස්කන්ධ බොයිලේරුවක් ස්ථාපනය කිරීමටද, කුරුණෑගල පිහිටි අති නවීන කර්මාන්තශාලාව සඳහා 100%ක් පුනර්ජනනීය විදුලිය භාවිත කිරීමටද කටයුතු කර ඇත්තේ පාරිසරික සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සිය කැපවීම මනාව පිළිබිඹු කරමිනි.

චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා කැපවී කටයුතු කරන නෙස්ලේ ලංකා සමාගම විසින් ඇසුරුම් අපද්‍රව්‍ය පරිසරයට හිතකර අයුරින් කළමනාකරණය කිරීම සඳහා 2019 වසරේදී එසෙප්ටික් පාන ඇසුරුම්වල භාවිත වන ප්ලාස්ටික් බට වෙනුවට කඩදාසි වලින් නිෂ්පාදිත බට යොදා ගැනීමත්, මෙරට පළමු එසෙප්ටික් පාන ඇසුරුම් ප්‍රතිචක්‍රීයකරණ කර්මාන්තශාලාව ආරම්භ කිරීමට දායක වීමත් සිදුකරන ලදී. 2026 වසර අවසන් වන විට 100%ක් ප්ලාස්ටික් ශුද්ධ භාවිතය ශුන්‍ය කිරීමට සමාගම අරමුණු කරගෙන සිටියි.

මෙම සුවිශේෂී සංධිස්ථානය පිළිබඳව අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆාන් මහතා, “ශ්‍රී ලංකාව තුළ නෙස්ලේ ලංකා සමාගමේ වසර 120ක මෙහෙයුම් සැමරීමට ලැබීම පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා. අපගේ මෙහෙයුම්හි දිගු කාලීන පැවැත්ම මෙන්ම පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය හා රට පුරා අප ගොඩනගා ඇති ශක්තිමත් සහජීවනය මෙම සංධිස්ථානයෙන් මනාව පිළිබිඹු වනවා. 

වසර 100කට වැඩි කාලයක් තිස්සේ ජනතාවගේ යහපත වෙනුවෙන් එක්ව කටයුතු කරන අප ශ්‍රී ලාංකේය ආර්ථිකයට සාධනීය දායකත්වයක් ලබා දීම, ජීවනෝපායන්ට සහාය වීම සහ ජනතාවට ධනාත්මක බලපෑමක් ඇති කිරීම, මෙන්ම පාරිභෝගිකයන් ප්රිය කරන රසවත් හා පෝෂ්‍යදායී නිෂ්පාදන නිරන්තරයෙන් සැපයීම වෙනුවෙන් කැපවී සිටිනවා. NESTOMALT, MILO, MAGGI වැනි සුප්‍රසිද්ධ සන්නාම තුලින් මෙරට පවුල් පෝෂණය කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න හා වඩා ක්‍රියාශීලී ජීවන රටාවන්ට සහාය වීම සඳහා අපි කටයුතු කරනවා. සෑම ශ්‍රී ලාංකික ජීවිතයක්ම නගා සිටුවීම අරමුණු කර ගනිමින් කටයුතු කරන අප වගකීමෙන් හා සැලකිල්ලෙන් යුතුව අපගේ මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කැපවී කටයුතු කරනවා” යනුවෙන් පැවසීය. 

වසර 120ක විශිෂ්ඨ ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් තව දුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම පුද්ගලයින්ට, පවුල්වලට සහ පරිසරයට සුවිසල් ධනාත්මක බලපෑමක් ඇති කිරීම වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගම කැපවී කටයුතු කරනු ඇත.