ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC) සම්මන්ත්‍රණයකදී අනාවරණය වෙයි

ICC ශ්‍රී ලංකා සභාපති ජොනී ප්‍රනාන්දු
ICC ශ්‍රී ලංකා බදු කමිටුවේ සභාපතිනි ආචාර්ය නදී දිසානායක
KPMG හි බදු සහ නියාමන සේවා ප්‍රධානී රිෆ්කා සියාර්ඩ්
අර්නස්ට් ඇන්ඩ් යන්ග් හි බදු ප්‍රධානී වේලායුතපිල්ලේ ශක්තිවේල්
- නව වැට් බදු ඉන්වොයිස් ආකෘතියේ ක්ෂේත්‍ර කිහිපයක් අපැහැදිලි බවට අදහසක්
- මේ හරහා ව්‍යවසායකත්වය සහ ආයෝජන අධෛර්යමත් කළ හැකි බවටත් අනතුරු අඟවයි
- ආදායම් අරමුණු සහ ආර්ථික ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම සඳහා පැහැදිලි බව අනිවාර්යයි - ICC ශ්‍රී ලංකා සභාපති ජොනී ප්‍රනාන්දු
භානුක අමරසිංහ
රජය විසින් 2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති නව වැට් බදු ඉන්වොයිස් ආකෘතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර විසඳා ගත යුතු ගැටලු කිහිපයක් පවතින බවත්, එම ගැටලු විසඳා නොගෙන එය ක්‍රියාත්මක කිරීම ඍණාත්මක ආර්ථික ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි කාරණාවක් විය හැකි බවත් ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC) මගින් පැවැත් වූ සම්මන්ත්‍රණයකදී අනාවරණය වී තිබේ.
මෙම නව වැට් බදු ඉන්වොයිසිකරණය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සහ එහි ප්‍රායෝගික අභියෝග සාකච්ඡා කිරිම සඳහා ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බදු කමිටුව මගින් පසුගියදා මෙම සම්මන්ත්‍රණය පවත්වා තිබේ.
විශේෂයෙන්ම මෙම නව වැට් බදු ඉන්වොසියිකරණයේ ඇති වෙනස්කම් සඳහා සූදානම පරීක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදකයින්, බදු වෘත්තිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් එක් රැස් කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වී තිබේ. ඒ අනුව නව වැට් බදු ඉන්වොයිස් ක්‍රමය සඳහා ව්‍යාපාරවල සූදානම තක්සේරු කිරීම, ප්‍රායෝගික හිඩැස් සහ අපැහැදිලිතා හඳුනාගැනීම සහ නව ක්‍රමය සුමට, ඵලදායී සහ ව්‍යාපාරික හිතකාමී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සඳහා ඵලදායී යෝජනා සංවර්ධනය කිරීම යන පැහැදිලි අරමුණක් ඇතිව මෙම සම්මන්ත්‍රණය කැඳවන ලද බව එම මණ්ඩලය පවසයි.
“මෙම සාකච්ඡාවලින් මතු වූ ප්‍රධාන කරුණක් වූයේ මෙම නව වැට් බදු ඉන්වොයිසිකරණය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර පැහැදිලිකම සහ නිශ්චිතභාවය සඳහා ඇති අවශ්‍යතාවයයි. නව ඉන්වොයිස් ආකෘතියේ ක්ෂේත්‍ර කිහිපයක් අපැහැදිලි හෝ අර්ථ නිරූපණයට විවෘතව පවතින බවට සහභාගිවන්නන් කනස්සල්ල පළ කළා.” ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය පවසයි.
ඒ අනුව මෙම ගැටලු විසඳා නොගෙන 2026 අප්‍රේල් 1 වන දින ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාම ඍණාත්මක ආර්ථික ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි බවත්, ව්‍යාපාර මෙහෙයුම් කඩාකප්පල් කළ හැකි බවත්, ව්‍යවසායකත්වය සහ ආයෝජන අධෛර්යමත් කළ හැකි බවත් ඔවුන් අනතුරු අඟවා තිබේ.
“ඉන්වොයිස් සංකීර්ණත්වය දෛනික ව්‍යාපාර ගනුදෙනුවලට, විශේෂයෙන් ඉහළ පරිමාණයේ සහ සේවා-නැඹුරු අංශවලට සෘජුවම බලපාන බව ව්‍යාපාරික ප්‍රජාව දැඩි ලෙස අවධාරණය කළා. එසේම නොවිසඳුණු අපැහැදිලිතා දිගටම පවතින්නේ නම්, ව්‍යාපාරවලට අනුකූලතා අවදානම්, ඉහළ පිරිවැය සහ මෙහෙයුම් අකාර්යක්ෂමතාවන්ට මුහුණ දිය හැකි අතර එය අවසානයේ පුළුල් ආර්ථිකයට බලපාවි යනුවෙන්ද ඔවුන් පෙන්වා දුන්නා.” එම මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව පද්ධති සකස් කිරීම, කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සඳහා සමාගම්වලට ප්‍රමාණවත් ඉදිරි කාලය ලබා දීම IRD විසින් සලකා බැලිය යුතු බවට සහභාගී වූවන් යෝජනා කර තිබේ. එසේම පද්ධති සංවර්ධනය සහ අනුකූලතා යටිතල පහසුකම් සඳහා ව්‍යාපාරවලට සැලකිය යුතු පිරිවැයක් දැරීමට පෙර සමාලෝචනය කරන ලද, ප්‍රායෝගික සහ පැහැදිලි ඉන්වොයිස් ආකෘතියක් අවසන් කිරීමේ සහ සන්නිවේදනය කිරීමේ වැදගත්කම ද ඔවුන් අවධාරණය කර ඇත.
මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමින්, ICC ශ්‍රී ලංකා සභාපති ජොනී ප්‍රනාන්දු මහතා, වැට් බදු ඉන්වොයිස් ප්‍රතිසංස්කරණය සාමාන්‍ය පරිපාලන ගැලපීමක් නොවන බවත්, ව්‍යාපාර ගනුදෙනු ලේඛනගත කරන ආකාරය, ආදාන බදු බැර ඉල්ලා සිටින ආකාරය සහ අනුකූලතාව පවත්වා ගන්නා ආකාරය කෙරෙහි සෘජුවම බලපාන ව්‍යුහාත්මක වෙනසක් බවත් අවධාරණය කළේය. එසේම ආදායම් අරමුණු සහ ආර්ථික ක්‍රියාකාරකම් යන දෙකම ආරක්ෂා කිරීම සඳහා පැහැදිලි බව, පුරෝකථනය කිරීමේ හැකියාව සහ ප්‍රමාණවත් සංක්‍රාන්ති කාලය අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය.
මෙම සම්මන්ත්‍රණය මෙහෙයවීම ICC ශ්‍රී ලංකා බදු කමිටුවේ සභාපතිනි ආචාර්ය නදී දිසානායක මහත්මිය විසින් සිදු කරන ලද අතර, රජයේ මෙම ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ආර්ථිකයට ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් සිදු කළ යුතු බව අවධාරණය කළාය. එහිදී ඉන්වොයිස් නිර්මාණය තාක්ෂණික ස්වභාවයක් ගත්තද, එය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර විශ්වාසය, පද්ධති පිරිවැය සහ ව්‍යාපාර කිරීමේ පහසුව සඳහා දීර්ඝ කාලීන ඵලවිපාක ඇති කරන බවද අවධාරණය කළාය.
මෙම සම්මන්ත්‍රණයේදී අදහස් දැක් වූ KPMG හි බදු සහ නියාමන සේවා ප්‍රධානී රිෆ්කා සියාර්ඩ් මහත්මිය, නව වැට් බදු ඉන්වොයිස් ආකෘතිය පිටුපස ඇති ප්‍රතිපත්තිය සහ ව්‍යුහාත්මක තාර්කිකත්වය ඉදිරිපත් කළාය. ඒ අනුව මෙවැනි වෙනසක අවශ්‍යතාව පැහැදිලි කරමින්, ආදායම් සහතික කිරීමේ අරමුණු, ඉහළ අනාවරණ අවශ්‍යතාවය, ඩිජිටල් අනුකූලතා ප්‍රවණතා සමඟ පෙළගැස්වීම සහ ව්‍යාජ ඉන්වොයිසි සහ ආදාන බදු බැර අනිසි ලෙස භාවිතා කිරීම මැඩපැවැත්වීමේ උත්සාහයන් එහිදී ප්‍රධාන බවද ඇය ඉස්මතු කළාය. එසේම අලුතින් හඳුන්වා දුන් අනිවාර්යය ක්ෂේත්‍ර, වැඩිදියුණු කළ හඳුනාගැනීමේ අවශ්‍යතා සහ නව ආකෘතියට ගොඩනගා ඇති ශක්තිමත් නීතිමය බලාත්මක කිරීමේ හැකියාව ද ඇය මෙහිදී පැහැදිලි කළාය.
අර්නස්ට් ඇන්ඩ් යන්ග් හි බදු ප්‍රධානී වේලායුතපිල්ලේ ශක්තිවේල් මහතා අදහස් දක්වමින්, ක්ෂේත්‍ර අත්දැකීම් උපයෝගී කරගනිමින්, පද්ධති සහ මෘදුකාංග සූදානම, සංක්‍රාන්ති ව්‍යාකූලත්වය, අංශ-විශේෂිත ගැටලු සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ක්ෂුද්‍ර ව්‍යාපාර මත අසමානුපාතික බර ඇතුළුව ව්‍යාපාර දැනටමත් මුහුණ දෙන හෝ අපේක්ෂා කරන ප්‍රධාන අභියෝග ඔහු ගෙනහැර දැක්වීය. ඉන්වොයිස් ප්‍රතික්ෂේප කිරීම, සුළු දෝෂ හේතුවෙන් ආදාන බදු බැර ප්‍රතික්ෂේප කිරීම, කාල නොගැළපීම් සහ අනුකූලතා පිරිවැය ඉහළ යාම වැනි පොදු අවදානම් ද ඔහු ඉස්මතු කළේය.
මෙම අවස්ථාව සඳහා ICC ශ්‍රී ලංකා උප සභාපති හේමකුමාර ගුණසේකර මහතා සහ ICC ශ්‍රී ලංකා හිටපු සභාපති ශනිල් ප්‍රනාන්දු මහතා ඇතුළු ව්‍යාපාරික හා වෘත්තීය ප්‍රජාවේ සාමාජිකයින් පිරිසක්ද සහභාගී වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd