• Blue Ocean Securities සහ BoMate  ඇප් වැඩසටහනට මුදල් තැන්පත් නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලයි

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ (CSE)  ආයෝජනය සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන බව පවසමින් ක්‍රියාත්මක  Blue Ocean Securities Ltd නම් නීති විරෝධී ආයතනයක් සහ එහි ජංගම දුරකතන යෙදවුම වන  BoMate  සම්බන්ධයෙන් අපරාධන පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID)  පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව  (SEC) පවසයි.

මෙහිදී අදාළ ආයතනය කොළඹ කොටස් හුවමාරුවේ සන්නාමය භාවිත කරමින් සිය ඇප් වැඩසටහන ප්‍රසිද්ධියට පත් කර තිබෙන බවත්, ඒ අනුව එම හුවමාරුවද තවත් පැමිණිල්ලක් CIDයට ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් වෙයි. මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව පවසන එම කොමිෂන් සභාව, ඉහත නම් සඳහන් ආයතනය වෙත හෝ එහි ඇප් වැඩසටහන හරහා හෝ මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙස ජනතාව වෙත දැනුම් දෙයි.

“මෙම ආයතනයේ ප්‍රධාන විශ්ලේෂක ලෙස හඳුන්වා ගන්නා රොහාන් ඩයස් නමැත්තා සහ ඔහුගේ සහායිකාව ලෙස සඳහන් නටාෂා පෙරේරා නැමැත්තියද, සිය කොමිෂන් සභාවේ බලපත්‍රලාභී ආයෝජන උපදේශකයන් නොවන බවත්, ඒවා ව්‍යාජ නම් විය හැකි බවත් එම කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.