TAB Global Excellence in Retail Finance Awards හිදී සම්මානයට පාත්‍ර වෙයි

හැටන් නැෂනල් බැංකුව පසුගියදා චීනයේ ෂැංහයි නුවර දී පැවති TAB Global Excellence in Retail Financial Services Awards 2026 සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස සම්මානයට පාත්‍ර විය. 

මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ 16 වැනි වරට වීම විශේෂත්වයකි. පාරිභෝගික බැංකුකරණයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදන ඉදිරිපත් කරන මූල්‍ය ආයතන ඇගයීම සඳහා මෙම සම්මානය පිරිනමනු ලැබේ.

අද වන විට HNB මිලියන දෙකකට අධික පාරිභෝගික පිරිසකට සේවා සපයන අතර, ඉන් සියයට 80 ක් පමණ ඩිජිටල් බැංකු සේවා භාවිත කරන්නන් වීම විශේෂත්වයකි. මෙයින් බැංකුවේ ඩිජිටල් බැංකු පද්ධති පාරිභෝගිකයන් අතර බෙහෙවින් ප්‍රචලිත වී ඇති බව පෙන්නුම් කරයි.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී, දමිත් පල්ලෙවත්ත මහතා මෙසේ පැවසුවේය. “පාරිභෝගිකයන් දැන් වඩාත් පහසු සහ තාක්ෂණය මත පදනම් වූ මූල්‍ය සේවා අපේක්ෂා කරන බැවින්, පාරිභෝගික බැංකුකරණය නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතිනවා. HNB හි අප අපගේ පාරිභෝගිකයන්ගේ මෙම වෙනස් වන අවශ්‍යතාවලට සරිලන විශ්වාසදායක සහ නව්‍ය නිෂ්පාදන පිරිනමන අතරම, බැංකුවේ ඩිජිටල් බැංකුකරණ හැකියාව ශක්තිමත් කිරීම කෙරෙහි අප අඛණ්ඩව අවධානය යොමු කරනවා. මෙම ඇගයීම හරහා අපගේ පාරිභෝගිකයන්ට උපරිම බැංකු අත්දැකීමක් ලබා දීමටත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට සහාය වීමටත් අප තුළ ඇති කැපවීම මැනවින් පෙන්නුම් කරනවා.”

තවද HNB ලීසිං ක්ෂේත්‍රයේ විශාලතම වෙළෙඳපොළ කොටස හිමිකර ගනිමින් එම ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස තවදුරටත් රැඳී සිටී.

“මෙම සම්මානය 16 වැනි වරටත් දිනා ගැනීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත් වෙනවා. මෙය බැංකුවේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදන සඳහා වූ කැපවීම තහවුරු කරන කදිම සාක්ෂියක්. 

පාරිභෝගිකයන්ට උපරිම වටිනාකමක් ලබා දීම සඳහා අපගේ සේවා සරල සහ කාර්යක්ෂම කිරීමට අප අඛණ්ඩව උත්සාහ කරනවා, යනුවෙන්  HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසීය.

පාරිභෝගිකයා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙන්ම සිය ඩිජිටල් තාක්ෂණය නිරන්තරයෙන් දියුණු කරමින්, ශ්‍රී ලංකාවේ මූල්‍ය සවිබල ගැන්වීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට දායක වන විශ්වසනීය සහකරුවකු ලෙස HNB අඛණ්ඩව කටයුතු කරයි.

ෆිච් රේටින්ග්ස් ලංකා විසින් HNB හි ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම AA-(lka) ක් ලෙස ඉහළ දමා ඇති අතර ලංකා වාණිජ මණ්ඩලය විසින් 2026 වසරේ ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ටතම ආයතනික පුරවැසියා‘ ලෙසද බැංකුව ඇගයීමට ලක් විය. 

සිය විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින්, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව වෙතින් ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙස බ්‍රැකන් සම්මානයෙන් ද HNB පිදුම් ලැබීය. 

මීට අමතරව ඒෂියන් බෑන්කර් විසින් ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙසත් 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ විශාල සමාගම් සඳහා හොඳම බැංකුව ලෙසත් HNB පිළිගැනීමට ලක් විය.