මෙම වසරේදී 10 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තබමින් ආරම්භ වූ NSBM හරිත සරසවිය (NSBM Green University) සිය මැයි කණ්ඩායම සඳහා නව සිසුන් ලියාපදිංචිය ආරම්භ කර ඇත. 
වසර 10ක් වැනි කෙටි කාලසීමාවක් තුළ දෙස් විදෙස් අවධානය දිනාගත් අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස හෝමාගම, පිටිපන අක්කර 70ක දැවැන්ත භූමි භාගයක විහිදී ඇති NSBM හරිත සරසවිය, හුදෙක් උපාධි පිරිනමන ආයතනයකට එහා ගිය පරිපූර්ණ විශ්වවිද්‍යාල අත්දැකීමක් හරහා, අපේ රටේ සුවහසක් දරුවන් සුදුසුකම් හා මනා පෞරුෂයෙන් හෙබි අනාගත නායකයන් බවට පත්කිරීමේ විශ්වාසනීය මෙහෙවරක නියැලී සිටී.
ඒ බව සනාථ කරමින් මෙම වසරේ මුල් භාගයේදී පමණක් NSBM ඉතිහාසයේ වරකට ලියාපදිංචි වූ වැඩිම සිසුන් කණ්ඩායම සිය උපාධි කටයුතු ආරම්භ කරන ලදී. 
එම සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, මෑතකදී අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල ලද සිසුන්ට ද සිය උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව උදා කරමින් 2026 මැයි නව උපාධි කණ්ඩායම ලියාපදිංචි කිරීම දැන් ආරම්භ වී ඇත. මේ පිළිබඳ වැඩිදුර විස්තර NSBM නිල වෙබ් අඩවියෙන් (www.nsbm.ac.lk) මෙන්ම සතියේ ඕනෑම දිනක NSBM පරිශ්‍රයට පැමිණීමෙන් ලබාගත හැක.
NSBM හරිත සරසවිය හරහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් පිළිගත් දේශීය උපාධි මෙන්ම එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල ලොව පිළිගත් විශ්වවිද්‍යාල අනුබද්ධිත උපාධි පාඨමාලා 70කට අධික සංඛ්‍යාවකින් සිසුන්ට කැමැති ක්ෂේත්‍රයක් තෝරාගැනීමට අවස්ථාව සැලසේ. ඒ අනුව ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු මෙන්ම විද්‍යා පීඨය හරහා පිරිනමනු ලබන කළමනාකරණ, තොරතුරු තාක්ෂණ, සිවිල් සහ අනෙකුත් ඉංජිනේරු විෂයන්, නීතිය, හෙද, ඖෂධවේදය, මනෝ විද්‍යාව, ජෛව විද්‍යාව, නිර්මාණකරණ සහ බහුමාධ්‍ය වැනි නවීන ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින විෂය ධාරාවන් රැසක්ම හැදෑරිය හැක.
අද වන විට උපාධිධාරීන් 23,000කට අධික පිරිසක් දැයට දායාද කරමින් සහ වර්තමානයේ සිසුන් 13,000කගේ අනාගත සිහිනවලට පණ පොවමින් NSBM ඉටුකරන මෙම ජාතික මෙහෙවර හරහා මෙරට සමාජ හා ආර්ථික උන්නතිය උදෙසා වන අසමසම දායකත්වය අවස්ථා ගණනාවකදීම සම්මානනීය ඇගයීමට පාත්‍රව ඇත්තේ එම විශිෂ්ටත්වය සනාථ කරමිනි.
NSBM හරිත සරසවියේ දස වසරක ගමන්මග වචනයේ පරිසමාප්තයෙන්ම අසමසම වන්නේ, දේශීය හා ජාත්‍යන්තර තලයේ අත්කරගෙන ඇති අතිමහත් ඇගයීම් සහ ජයග්‍රහණ හේතුවෙනි. 
සරසවියේ ගුණාත්මකභාවය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ මූල්‍ය කළමනාකරණය සහතික කරමින් ජාතික මට්ටමේ විශිෂ්ටතා සම්මාන රැසකින් පිදුම් ලැබීමට NSBM සමත්ව ඇත. මෙම සාර්ථකත්වයේ සැබෑ නියමුවාණන් වන උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතා, මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට යොමු කිරීම උදෙසා ඉටුකළ ඒ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් ද සුවිශේෂී ඇගයීම් රාශියකට පාත්‍ර වී තිබේ.