කොටස් වෙළෙඳපොළ ආයෝජනය පියවරෙන් පියවර - 9
මෙම ලිපිය ආයෝජකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීමක් ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරන ලද ලිපියකි.
කිසියම් ආයෝජකයකුට කොටස් වෙළෙඳපොළ ආයෝජනයට පිවිසීමට අවස්ථා දෙකක් තිබේ. එනම් ප්‍රාථමික කොටස් වෙළෙඳපොළ (Primary Market) සහ ද්විතියීක කොටස් වෙළෙඳපොළ අවස්ථාවයි. මෙම අවස්ථා දෙකෙන් ප්‍රාථමික කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැන පුළුල් ලෙස විග්‍රහ කිරීමක් අපි පසුගිය සති කිහිපය තුළ සිදු කළෙමු.
ප්‍රාථමික කොටස් වෙළෙඳපොළ යනු සමාගමක් ප්‍රථම වරට සිදුකරන කොටස් නිකුතුවයි. එහිදී සමාගමක් විසින් නව කොටස් මහජනතාවට නිකුත් කිරිමක් සිදුවේ. එය මූලික කොටස් නිකුතුවක් (IPO - Initial Public Offering) යනුවෙන්ද හඳුන්වයි. එහිදී ආයෝජකයන් විසින් සෘජුවම සමාගමෙන් කොටස් මිලදී ගනී. එසේ කොටස් මිලදී ගන්නා ආයෝජකයන්ගෙන් නව මුදල් සමාගමට ලැබේ. මූලික කොටස් නිකුතුවකදී (IPO එකේදී) කොටසක මිල සමාගම විසින් තීරණය කරනු ලබන අතර එහිදී නිකුත් කරනු ලබන කොටස්, කොළඹ කොටස් වෙළෙදපොළෙහි ගනුදෙනුවීම ආරම්භ වන්නේ එම මූලික කොටස් නිකුතුව අවසාන වී සති කිහිපයකට පසුවයි. මෙම ලිපියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ එවැනි මූලික කොටස් නිකුතුවලින් පසු එම කොටස් ගනුදෙනු වීම සිදුවන ද්විතීයීක වෙළෙඳපොළ ආයෝජනය ගැන පැහැදිලි කර දීමටයි.
ද්විතියික වෙළෙඳපොළ යනු ආයෝජකයන් විසින් මූලික කොටස් නිකුතුවෙන් මිලදී ගත් කොටස් ආයෝජකයන් අතර හුවමාරු වන්නා වූ වෙළෙඳපොළයි. එනම් ආයෝජකයන් අතර කොටස් මිලදී ගැනීම් සිදු වන්නා වූ වෙළෙඳපොළයි. කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ලෙසද එය හඳුන්වයි. එවැනි ද්විතියීක වෙළෙඳපොළවලට උදාහරණ ලෙස කොළඹ කොටස් හුවමාරුව, බොම්බෙ කොටස් හුවමාරුව, නිව්යෝර්ක් කොටස් හුවමාරුව ආදීය පෙන්වා දිය හැකිය. ද්විතියීක කොටස් වෙළෙඳපොළ අවස්ථාවේදී එක් ආයෝජකයෙක් තවත් ආයෝජකයකුගෙන් කොටස් මිලදී ගැනීමක් සිදු වේ. එම ආයෝජකයන් දෙදෙනාගේ කොටස් ගිණුම් අතර හුවමාරුවක් එහිදී සිදු වේ. එනම් කොටස් විකුණනු ලබන ආයෝජකයාගේ CDS ගිණුමෙන් එම කොටස් ඉවත් වී කොටස් මිලදී ගත් ආයෝජකයාගේ ගිණුමට බැර වීමයි. සමාගම්වලට නව මුදල් ලැබීමක් එමගින් සිදු නොවේ. එසේම කොටස් මිල ගණන්ද සමාගමට බලපාන්නා වූ කරුණු සහ රටේ සාර්ව ආර්ථික සාධකවල බලපෑම අනුව දෛනිකව ඉහළ-පහළ යාම සිදුවේ. වර්තමානයේදී ද්විතියීක වෙළෙඳපොළේ ආයෝජකයන් කොටස් මිලදී ගැනීම් සහ විකිණීම් සිදුකරමින් ඉතා සක්‍රියව ගනුදෙනු කරන වෙළෙඳපොළක් තත්වයක්ද දැකගත හැකිය.
ආයෝජනය ඇරඹීමට පෙර දැනගත යුතු දේ
කොටස් වෙළෙඳපොළෙහි ආයෝජන බොහෝ ආයෝජකයන් ආරම්භ කරනුයේ ද්විතියීක කොටස් වෙළෙඳපොළ අවස්ථාවෙනි. එනම් දැනට කොටස් වෙළෙඳපොළෙහි ලයිස්තුගතව ඇති කොටස් මිලදී ගනිමිනි. එහිදී ආයෝජකයන් විශේෂයෙන් මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ කොටස් වෙළෙඳපොළ ආයෝජනය යනු දිගුකාලීන ආයෝජනයක් බවයි. ආයෝජකයකු ලයිස්තුගත සමාගම්වල කොටස් මිලදී ගන්නවා යනු එකී සමාගමේ කොටස් හිමියකු නැතහොත් අදාළ සමාගමේ කොටස් අයිතිකරුවකු බවට පත්වීමකි. එවැනි සමාගමක කොටස් මිල ගණන් දෛනිකව ඉහළ හෝ පහළ යාමක් සිදු විය හැකි බවද තේරුම් ගත යුතුය. කොටස් සඳහා ඇති ඉල්ලුම හා සැපයුම යන තත්ව මත එසේ මිල ගණන් වෙනස්වන බවද තේරුම් ගත යුතුය. තමා ආයෝජනය කරනු ලබන මුදලෙහි වටිනාකම එලෙස අඩු හෝ වැඩි විය හැකිය. සමාගමක සාර්ථකත්වය දින කිහිපයකින් හෝ සති කිහිපයකින් වැනි කෙටි කාලයකින් මැනිය නොහැකිය. සමාගමක් විසින් ආයෝජකයාට සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබාදීමට යම් කාලයක් ගත වේ. මේ නිසා ඉක්මනින් හෝ හදිසි ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් කොටස් වෙළෙඳපොළ ආයෝජනයට ප්‍රවේශ වීම සුදුසු නැත.
ද්විතියික වෙළෙඳපොළෙහි ආයෝජනය ආරම්භ කිරීම
ද්විතියීක වෙළෙඳපොළ හෙවත් කොළඹ කොටස් හුවමාරුවේ ආයෝජනය කිරීමට කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය තුළ CDS (Central Depository System) ගිණුමක් ආරම්භ කිරීම අවශ්‍යය. එවැනි ගිණුමක් ආරම්භ කිරීම පිළිබඳව මුලික කොටස් නිකුතුවකින් (ප්‍රාථමික කොටස් වෙළෙඳපොළ ආයෝජනය ආරම්භ කිරීමේදී) කොටස් මිලදී ගැනීම විස්තර කරන ලිපියෙන්ද සරලව පැහැදිලි කර දුන්නෙමු. ඒ අනුව කොටස් ගිණුමක් ආරම්භ කර ගැනීමට එහිදී අප සඳහන් කළ පරිදි මෑතකදී කොළඹ කොටස් හුවමාරුව විසින් හඳුන්වාදුන් CSE Mobile App පහසුකම, තම ජංගම දුරකථනය හරහා බාගත කරගෙන අදාළ විස්තර සූදානම් කරගෙන (NIC/Passport, Bank Details, Utility Bill වැනි) පියවරෙන් පියවර ඉදිරියට යමින් ගිණුමක් ආරම්භ කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතු බව පෙන්වා දුන්නෙමු.
එහිදී කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගත යුතු බවද අප පැහැදිලි කළෙමු. කොළඹ කොටස් හුවමාරුවේ සාමාජිකයන් ලෙස හඳුන්වනු ලබන සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබා ඇති කොටස් තැරව්කාර ආයතන 28ක් වර්තමානය වන විට ඇති අතර ඉන් තමා කැමැති කොටස් තැරැව්කාර ආයතනයක් හෝ ආයතන කිහිපයක් හරහා CDS ගිණුමක් හෝ ගිණුම් කිහිපයක් වෙන් වෙන් වශයෙන් ආරම්භ කරගෙන ආයෝජනයට ප්‍රවිෂ්ඨ විය හැකිය. මෙම ගිණුම් ආරම්භ කිරීම සඳහා කිසිදු මුදලක් හෝ ගාස්තුවක් අය නොකෙරේ. මෙම කොටස් තැරැව්කාර ආයතන පිළිබඳ ලැයිස්තුවක් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ හෝ කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවි වලින් (www.sec.gov.lk, www.cse.lk) ලබා ගත හැකිය.
ආයෝජන උපදේශකවරයකුගේ සහාය ලැබීම
කොටස් වෙළෙඳපොළ ආයෝජනයට ඉහත කී ආකාරයෙන් කොටස් ගිණුමක් ආරම්භ කර ගැනීමේ ක්‍රියාවලිය අතරතුර ආයෝජකයාට කොටස් තැරැව්කාර ආයතනයෙන් ලියා පදිංචි ආයෝජන උපදේශකවරයකුගේ (RIA) සහාය ලැබේ. CDS ගිණුම ආරම්භ කර ගැනීමට තමා ලබා දුන් විස්තරවල අඩුපාඩු ඇත්නම් ඒ පිළිබඳවද ආයෝජකයාට දැනුවත් කර ඒවා සම්පූර්ණ කර CDS ගිණුම ආරම්භ කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර ගැනීමට එම ආයෝජන උපදේශකවරාගේ සහාය ලබා දෙයි.
එසේ කොටස් ගිණුම සාර්ථකව ආරම්භ කිරීමෙන් පසු කොටස් මිලදී ගැනීමට මුදල් තැන්පත් කරන ලෙසද ආයෝජන උපදේශකවරයා විසින් ආයෝජකයාට උපදෙස් ලබා දෙයි. ඉන් අනතුරුව තම ඉදිරි ආයෝජනයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් උපදෙස් ලබා ගනිමින් සහ නිවැරදි ආයෝජන තීරණ ගනිමින් ආයෝජනවල නිරත විය යුතුය. මෙම ලියාපදිංචි ආයෝජන උපදේශකවරුන් පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තබා ආයෝජකයන්ට කටයුතු කළ හැකිය. එවැනි ආයෝජන උපදේශකයන්ට එම වෘත්තීය සේවා සැපයීමට නිසි වෘත්තීය සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබා දී තිබේ.
කොටස් මිලදී ගැනීමට මුදල් යොමු කිරීම
කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජකයා විසින් කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශකවරයා විසින් ලබා දෙන එම ආයතනයේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කළ යුතුය. එසේ තම තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශකවරයා විසින් ලබාදෙන බැංකු ගිණුම හැර වෙනත් කිසිම බැංකු ගිණුමකට මුදල් තැන්පත් නොකළ යුතුය. එසේ මුදල් තැන්පත් කිරීම අන්තර්ජාල ගෙවීම හෝ බැංකු තැම්පත් හරහා කළ හැකි අතර මුදල් තැන්පත් කළ බවට කොටස් තැරැව්කාර ආයතනය වෙත තහවුරු කළ හැකිය.
කොටස් මිලදී ගැනීම හා විකිණීම
කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට කැමති පුද්ගලයකු පළමුව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබා ඇති කොටස් තැරැව්කාර ආයතනයක් හරහා කොටස් ගිණුමක් විවෘත කර ගත යුතුය. ඒ සඳහා ආයෝජකයා විසින් කොටස් තැරැව්කාර ආයතනයේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කළ යුතු වේ. මුදල් තැන්පත් කළ බව තහවුරු වූ පසු, ආයෝජකයා තෝරාගත් සමාගම්වල කොටස් මිලදී ගැනීම සඳහා තම ආයෝජන උපදේශකවරයා හරහා හෝ අන්තර්ජාල ගනුදෙනු පද්ධතියක් මගින් ගැනුම් ඇණවුම් ලබා දිය හැක. එසේ මිලදී ගන්නා ලද කොටස් ආයෝජකයාගේ කොටස් ගිණුමෙහි ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් සුරක්ෂිතව රඳවා තබාගනු ලැබේ. ආයෝජකයාට අවශ්‍ය ඕනෑම අවස්ථාවක, කොටස් වෙළෙඳපොළ ගනුදෙනු දිනයක නියමිත ගනුදෙනු කාලසීමාව තුළ, එම කොටස් විකිණීමට හැකියාව ඇත. කොටස් වෙළෙඳපොළ මිල ගණන් නිරන්තරයෙන් උච්ඡාවචනය වන බැවින්, සාර්ථක ප්‍රතිලාභ ලබා ගැනීමට නම් දිගුකාලීනව ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය බව ආයෝජකයන් මතක තබා ගත යුතුය.
ලයිස්තුගත සමාගම් සහ GICS කර්මාන්ත කාණ්ඩ
කොටස් වෙළෙඳපොළෙහි ලයිස්තුගත සමාගම් මොනවාද යන්න සාමාන්‍ය අවබෝධයක් කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය ආරම්භ කරන්නකුට තිබීම ඉතා වැදගත්ය. වර්තමානය වන විට කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) GICS කර්මාන්ත කණ්ඩායම් (ගෝලීය කර්මාන්ත වර්ගීකරණ ක්‍රමය) 20ක් නියෝජනය කරන සමාගම් 289ක් ලයිස්තුගතව ඇත.
2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද පොදු සමාගම් හෝ ශ්‍රී ලංකාවේ නීති යටතේ සංස්ථාගත කරන ලද හෝ ස්ථාපිත කරන ලද හෝ වෙනත් ඕනෑම රාජ්‍යයක නීති යටතේ ස්ථාපිත කරන ලද (විනිමය පාලන අනුමැතියට යටත්ව) ඕනෑම ව්‍යවස්ථාපිත සංස්ථාවක් ණයකර හෝ කොටස් නිකුත් කර අරමුදල් රැස් කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමක් ඉල්ලා සිටීමට සුදුසුකම් ලබයි. කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත සමාගමක් බවට පත්වීමට සහ ඔවුන්ගේ සුරැකුම්පත් කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත කිරීමට කැමැති සමාගම් ඉහත සඳහන් පනතේ අදාළ විධිවිධාන සහ 2021 අංක 19 දරන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත සහ කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත කිරීමේ රීතිවලට අනුකූල විය යුතුය.
කොටස් තෝරා ගැනීම
කොටස් තෝරා ගැනීම (Stock Selection) යනු සාර්ථක ආයෝජනයකට ඉතාම වැදගත් පියවරකි. ඒ අනුව, කොටස් මිලදී ගන්නේ කුමන සමාගම් වලද යන්න ආයෝජකයා තීරණය කළ යුතුය. මිලදී ගැනීමට කොටස් තෝරා ගන්නා විට අවධානය යොමු කළ යුතු කරුණු රාශියක් ඇත. එවැනි කරුණු අතර පසුගිය වසර කිහිපය තුළ සමාගමේ ලාබ/අලාබ තත්වය, සමාගමේ ව්‍යාපාරය කටයුතු වල අඛණ්ඩ පැවැත්ම කෙසේද, කොටස් මිල හැසිරිමේ ඉතිහාසය, කොටස් සඳහා ලාභාංශ පිරිනැමීමේ ස්වභාවය (Dividends Payments), සමාගමේ අනාගත ක්‍රියාකාරකම් ආදිය දෙස කොටස් මිලදී ගන්නා ආයෝජකයන් අවධානය යොමු කළ යුතුය. ලයිස්තුගත සමාගම්වල වාර්ෂික වාර්තා කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර සමාගමක කාර්යසාධනය හා සම්බන්ධ බොහෝ තොරතුරු එහි අන්තර්ගත වේ. මීට අමතරව අවශ්‍ය නම් තම කොටස් තැරැව්කාර සමාගමේ ආයෝජන උපදේශකවරයාගේ සහයෝගයද ලබා ගත හැකිය. කොටස් තෝරා ගැනීම හා සම්බන්ධව සවිස්තරාත්මක ලිපියක් පසුව ඉදිරිපත් කෙරේ.
කොටස් මිලදී ගැනීමේ සහ විකිණීමේ ඇණවුම් ඉදිරිපත් කිරීම
කොටස් මිලදී ගැනීමේ සහ විකිණීමේ ඇණවුම් ලබා දීමේදී ආයෝජයකු සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ඇත. විශේෂයෙන්ම තමන් මිලදී ගැනීමට හෝ විකිණීමට බලාපොරොත්තු වන සමාගමේ නම, කොටස් ප්‍රමාණය සහ කොටසක මිල යන කරුණු පැහැදිලිව තම ආයෝජන උපදේශකවරයා වෙත ආයෝජකයා විසින් ලබා දිය යුතුය. ඊට හේතුව ආයෝජනය සම්බන්ධයෙන් අවසාන තීරණය ගත යුත්තේ ආයෝජකයා විසින්ම වීමයි. කිසියම් ආයෝජකයකු විසින් අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිණුමක් පවත්වාගෙන යන්නේ නම් පමණක් (තමා වෙනුවෙන් ආයෝජන තිරණ ගැනීමේ අයිතිය කොටස් තැරව්කාර ආයතනයේ ආයෝජන උපදේශකවරයා වෙත පවරන ලද) හැර අන් සෑම අවස්ථාවකදීම තම ආයෝජනය සම්බන්ධයෙන් අවසන් තීරණය තමා විසින්ම ගත යුතුය.
එහෙත් බොහෝ ආයෝජකයන් මෙම කාරණය නිවැරදිව තේරුම් නොගෙන සියලු ගිවිසුම්වලට එකඟ වී ආයෝජන උපදේශකවරයා වෙත පවරා පසුව ගැටලුවක් මතු වූ විට තමා ඒ බව නොදන්නා බව පවසයි. එය සමහර විට ආයෝජකයාගේ නොදැනුවත්භාවය නිසා විය හැකිය. මේ නිසා කිසියම් ආයෝජකයකු සී ඩී එස් ගිණුමක් විවෘත කිරීමේදී අත්සන් කරනු ලබන හෝ සිය එකඟතාව පළකරනු ලබන ගිවිසුම් මොනවාද යන්න හොඳින් කියවා බලා දැනුවත්ව තම එකඟතාව තහවුරු කළ යුතුය. කොටස් තැරව්කාර ආයතනය සමග අත්සන් කරනු ලබන ගිවිසුම් කිහිපයක් ඇති අතර ඒවා පිළිබඳව ආයෝජකයා මනා සැලකිල්ලක් යොමු කළ යුතුය. විශේෂයෙන්ම CSE Mobile App පහසුකම හරහා නව කොටස් ගිණුමක් ආරම්භ කරන විට තමා විසින් ඔන්ලයින් ආකාරයෙන් සම්පූර්ණ කරන ලියකිලවිලි ගැන මනා අවබෝධයක් තිබිය යුතුය. අවබෝධයකින් යුතුව කොටස් ගනුදෙනු කිරීමෙන් ඉහත කී ආකාරයේ ගැටලු ඇතිවීමට තිබෙන අවස්ථා අඩු කර ගත හැකිය.
තවත් කොටසක් ලබන සතියේ...
COMMENTS