• උද්ගතවී ඇති මේ අර්බුදය හමුවේ තේ ඉඩම් හිමියා සහ කර්මාන්තය සුරක්ෂිත කිරීමට රජයට යෝජනාවලියක්

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


මැද පෙරදිග යුද ගිනි ඇවිළීමත් සමග දැඩි අර්බුදයකට මුහුණදී සිටින තේ ඉඩම් හිමියා සුරැකීමට හදිසි මැදිහත්වීමත් සමගම ඊට තිරසාර සැලසුමක් දියත් කරන ලෙස වතුහිමියන්ගේ සංගමය (TEOA) රජයෙන් ඉල්ලා සිටියි.

වර්තමානයේ මැදපෙරදිග කලාපයේ පවතින යුද වාතාවරණය හේතුවෙන් මෙරට තේ කර්මාන්තයේ ප්‍රධානතම පාර්ශවකරුවකු වන කුඩා සහ මධයම පරිමාණ තේ ඉඩම් හිමියන් අතිශය තීරණාත්මක මූල්‍යමය සහ මෙහෙයුම් අවදානමකට මුහුණ දී සිටින බව වතුහිමියන්ගේ සංගමය රජයට අවධාරණය කර සිටියි.

පසුගියදා වැවිලි හා පජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී සිය සංගමය විසින් පෙන්වා දුන් පරිදි, තාවකාලික පැලැස්තර විසඳුම් වෙනුවට කර්මාන්තය මුහුණ දෙන අනපේක්ෂිත අවදානම් පාලනය කිරීමට තිරසාර ප්‍රතිපත්තිමය සැලසුමක් සහ පෙර සූදානමක් වහාම දියත් කරන ලෙස සිය සංගමය රජයෙන් ඉල්ලා සිටින බව වතු හිමියන්ගේ සංගමයේ ලේකම් උෂාන් සමරසිංහ මහතා කියයි.

දැනට උද්ගතවී ඇති මේ අර්බුදය හමුවේ තේ ඉඩම් හිමියා සහ කර්මාන්තය සුරක්ෂිත කිරීම සඳහා සිය සංගමය රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරන බවද මෙහිදී සමරසිංහ මහතා කීය.

රුපියල අවපමාණය වීමෙන් ලැබෙන විදේශ විනිමය වාසිය තේ ඉඩම් හිමියා වෙත ගලා යාම සහතික කිරීම සඳහා විනිවිදභාවයකින් යුතු මිල සූත්‍රයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම ඉන් පළමු වැන්න බව වතු හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

යුද අවදානම හේතුවෙන් අලෙවි කරගත නොහැකිව ගොඩගැසෙන තේ තොග සුරක්ෂිතව තබා ගැනීමට රජයේ ගබඩා පහසුකම් සහනදායී ලෙස ලබා දීමත්, වගාකරුගේ ආදායම ස්ථාවර කිරීමට රජයේ මැදිහත්වීමත් තේ මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් කියාත්මක කිරීමත් දෙවැනි යෝජනාව බවද එම සංගමය කියයි.

යුද වාතාවරණය නිසා ඉහළ ගොස් ඇති ජත්‍යන්තර රක්ෂණ සහ නාවික ගාස්තු හේතුවෙන් ජනිත වන අතිරික්ත පිරිවැය, තේ ඉඩම් හිමියන් මත පැටවීම හෝ අමු දලු‍ මිල ගණනය කිරීමේදී ඊට බලපෑමක් ඇති කිරීම වහාම නැවැත්විමට පියවර ගැනීම සිය සංගමයේ තුන් වැනි යෝජනාව බව එම සංගමයේ ලේකම් උෂාන් සමරසිංහ මහතා කීවේය.

එළඹෙන සිංහල සහ දෙමළ අලු‍ත් අවුරුදු සමයේ ඉඩම් හිමියන් මුහුණ දෙන මූල්‍ය පීඩනය සමනය කිරීමට සහනදායී කාරක ප්‍රාග්ධන ණය පහසුකමක් රජය මැදිහත්ව ලබා දිය යුතු බවත් එම ණය පහසුකමේ පොලී පිරිවැය රජය විසින් දැරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් සිය සංගමයේ සිව් වැනි යෝජනාව බව ද සමරසිංහ මහතා කියයි.

නිෂ්පාදන පිරිවැය (COP) අවම කිරීම සඳහා රජය සෘජුව මැදිහත්ව සහනදායී මිලට පොහොර ආනයනය කළ යුතු බවත් සමරසිංහ මහතා කීවේය.

ඉඩම් හිමියාගේ මූල්‍ය ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට ස්වාධීන අරමුදලක් වහාම පිහිටුවීම අවසන් යෝජනාව බවත් සමරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

තේ කර්මාන්තයේ හදවත බඳු වූ තේ ඉඩම් හිමියා ආරක්ෂා කර ගැනීම සමස්ත ජාතික ආර්ථිකයේ ස්ථාවරත්වයට අතිශය වැදගත් සාධකයක් බව වතුහිමියන්ගේ සංගමයේ සභාපති රංජිත් කේ ගුණවර්ධන මහතා කීවේය.