පසුගිය වසරේ අප රට මුහුණ දුන් දරුණු ස්වාභාවික ව්‍යසනය, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සිසු දරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලදී.

විධායක නිලධාරීන්ගේ සංගමය මහ බැංකුවේ සියලු‍ම ශ්‍රේණිවල කාර්ය මණ්ඩල සහෘදයන් සමග එක්ව ඔවුන්ගේ ස්වේච්ඡා දායකත්වයෙන් හා සංගමයේ අරමුදල්වලින් රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් මෙම කර්තව්‍ය සඳහා යොදවා ඇත. 

පාසල් සිසු දරුවන්ගේ තොරතුරු එක් රැස් කිරීමේ දී මහ බැංකුවේ මාතලේ හා නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාල කළමනාකරුවන්ගේ සහ අදාළ ප්‍රදේශවල කලාප අධ්‍යාපන අධක්ෂවරුන්ගේ සහයෝගය ද ලබා ගන්නා ලදී.

ඒ අනුව, ප්‍රථමයෙන්ම නුවර, මාතලේ, බදුල්ල හා නුවරඑළිය යන දිස්ත්‍රික්වල සිසු දරුවන් 1,300කට පමණ පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන් මාලාව 2025 දෙසැම්බර් 29, 30 සහ 31 යන දින තුන පුරා සාර්ථකව සිදු කරන ලදී. 

මේ සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 45ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති තරංග විජේකෝන් මහතා ප්‍රකාශ කළේය. 

මීට අමතරව, සුළි කුණාටුවෙන් පීඩාවට පත් මුලතිව් සහ පුත්තලම දිස්ත්‍රික්කවල පාසල් 4කට රුපියල් 650,000කට වැඩි වටිනාකමින් යුතු ක්‍රීඩා උපකරණ බෙදාදීමේ වැඩසටහන සංගමයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් 2026 පෙබරවාරි 2 දා පැවැත්විණි.