
තිවේන් ඉඳුවර බණ්ඩාර
ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතියේ පදනම වන්නේ බත් සහ එළවළුය. එහෙත් පසුගිය වසර කිහිපය පුරා මෙරට පාරිභෝගිකයාට එළවළු මිල දී ගැනීම යනු සාමාන්‍ය කටයුත්තකට වඩා අසීරු අත්දැකීමක් විය. ඒ කොරෝනා වසංගතය, පොහොර අර්බුදය, ආර්ථික අභියෝග සහ කාලගුණ විපර්යාස හමුවේ එළවළු මිල සාමාන්‍ය මිනිසාගේ අතේ ඇති මුදලට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පැවතුණු බැවිනි.
මෑතකදී ඇති වූ ‘දිට්වා‘ සුළි කුණාටුවෙන් පසු එළවළු මිල ගණන් යම් ප්‍රමාණයකින් ඉහළ ගියද, එය බලාපොරොත්තු වු පරිදි ඉතා ඉහළ අගයක් ගත්තේ නැත. කෙසේ වෙතත් එළවළු මිල තවමත් සාමාන්‍ය මිල මට්ටමක් දක්වා පහත වැටී නොමැති බව පැහැදිලිය. එහෙත් පාරිභෝගිකයා පෙර පරිදිම එළවළු මිලදී ගැනීමට ඇති ප්රවණතාවේ අඩුවක් පෙනෙන්නට තිබේ. මෙම තත්වය එළවළු වගා කරන දේශීය ගොවියාට ද අහිතකර ලෙස බලපාන බව ඕනෑම අයකුට වැටහෙන කාරණයකි. අනෙක් පසින් අපගේද, විශේෂයෙන් දරුවන්ගේද බත් පතේ පෝෂණ මට්ටම නිහඬවම දුර්වල වෙමින් තිබීම කණගාටුදායකය.
පසුගිය වසර හතරක කාලය තුළ මෙරට එළවළු මිලෙහි කැපී පෙනෙන විපර්යාසයක් සිදු වූ අතර, 2022 වසරේ මුල් භාගයේදී රුපියල් 250 - 300 මට්ටමේ පැවති එළවළු කිලෝවක සාමාන්‍ය මිල 2022 දෙසැම්බර් වන විට රුපියල් 400 සීමාව ඉක්මවා ගියේය. මෙම සංඛ්‍යාලේඛන සහිත දත්ත නිවැරැදි යැයි උපකල්පනය කරමින් බලන විට මිල ඉහළ යාම 2023 වසර අවසානය වන විට රුපියල් 700 දක්වා වර්ධනය වූ අතර, 2024 ජනවාරි මාසයේදී කිලෝවක සාමාන්‍ය අගය රුපියල් 1,000 සීමාව ද පසු කළේය. 2025 වසරේදී මිල ගණන් සියයට 50 කින් පමණ පහත වැටී රුපියල් 400 - 450 මට්ටමක ස්ථාවර විය. ‘දිට්වා‘ කුණාටුවෙන් පසු සියයට 35 ක සියයට 40 ක ක්ෂණික මිල ඉහළ යාමක් නිරීක්ෂණය වුවත් මේ වන විට යළි අස්වනු ලැබෙමින් ඇති නිසා යම් මට්ටමකට මිල පහළ යාමක් ඇත.
රජයේ නිල වාර්තා සහ මහ බැංකුවේ දෛනික මිල වාර්තා ඇසුරෙන් පෙනී යන්නේ වඩාත් වාසිදායි එළවළු මල්ලක් මිල දී ගැනීමට සුපිරි වෙළෙදසල්, එළවළු කඩ, පොළ ආදී එළවළු විකුණුම් ස්ථාන රැසක් ඇති බවය. රටේ පවතින එළවළු විවිධත්වය සලකා බලන විට පෝෂ්‍ය පදාර්ථ ලැබෙන පරිදි එළවළු මිශ්‍රණයක් සොයා ගැනීමත්, ආහාර වේලට එළවළු එකතු කර ගැනීමත්, තරගකාරී මිල ගණන් පවතින ස්ථාන සොයා බලා ඒවා මිලදී ගැනීමත් තවමත් කළ හැකිය.
කෙසේ වෙතත් මේ ආකාරයට මිල ගණන් යම් ප්‍රමාණයකට අඩු වුවත් තවමත් එළවළු සහ පලතුරු මිල දී ගැනීමට අප යම් පසුබට වීමක් දක්නට තිබේ. දිගු කාලයක් පුරා එළවළු මිල අධිකව පැවතීම නිසා අපේ මනස තුළ ‘‘එළවළු යනු මිල අධික දෙයක්” යන මානසික බාධකය (Psychological Barrier) තදින් මුල් බැස ගෙන ඇත. ‘‘මේ මිලට ගන්න එක පාඩුද?” හෝ ‘‘තවත් මිල අඩු වෙයිද?” යන සිතිවිල්ල නිසා අප බොහෝ විට අත්‍යවශ්‍ය පෝෂණය පවා මිල දී ගැනීම සීමා කිරීමට පෙළඹී ඇත.
එහෙත් මෙය අපේ පෝෂණ සෞඛ්‍යයට සෘජුවම බලපාන කරුණකි. විශේෂයෙන්ම වැඩෙන දරුවන්ට අවශ්‍ය පෝෂණය එළවළු පරිභෝජනය නොකිරීම නිසා අහිමිව යයි. රජයේ සෞඛ්‍ය දත්තවලට අනුව දරුවන් අතර විටමින් A ඌණතාව සියයට 30 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඔවුන්ගේ බුද්ධි වර්ධනයට සහ ප්‍රතිශක්තියට දැඩි බලපෑම් එල්ල කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කරන්නේ දිනකට එළවළු ග්‍රෑම් 400ක් පමණ පරිභෝජනය කළ යුතු බවයි. එහෙත් අප ඒ අසලකවත් නොමැත.
මෙම පාරිභෝගික පසුබට වීම දේශීය ගොවියාද අර්බුදයකට ඇද දමයි. අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා ගොවීන් සිය වගා කටයුතු අත්හැර දැමීමට හෝ අඩු කිරීමට සිදු වන තත්වයක් නිර්මාණය වී ඇත. මාතලේ, නුවරඑළිය සහ බදුල්ල වැනි ප්‍රදේශවල ගොවීන් පෙන්වා දෙන්නේ මිල මෙලෙස අසාධාරණ ලෙස පවතින මට්ටමට වඩා පහත වැටුණොත් ඉදිරි කන්නයේදී වගා කිරීම අත්හැරීමට සිදු වන බවයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ඉදිරි මාස කිහිපය තුළ යළිත් දරුණු එළවළු හිඟයක් ඇති වී මිල අහස උසට නැගීමයි.
වර්තමානයේදී රජය මැදිහත් වී දේශගුණ විපර්යාසයවලට ඔරොත්තු දෙන වගා ක්‍රමවේද (Climate-resilient farming) සහ වෙළෙඳපොළ මිල ස්ථාවර කිරීමට නව වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු සහගත කරුණකි. එබැවින් පාරිභෝගිකයා ලෙස අප කළ යුත්තේ කුමක්ද? මිල ගණන් මෙන්ම සමබල ආහාර වේලක වැදගත්කම පිළිබඳව අප සෑම විටම දැනුවත්ව සිටීම අත්‍යවශ්‍ය වේ. සෑම විටම මිල අධික එළවළුම තෝරා ගත යුතු නැත. සුපිරි වෙළෙඳසල්වල මෙන්ම දේශීය පොළවල් ආශ්‍රිතව ඇති ලාබදායී එළවළු වර්ග මගින්ද අපගේ පෝෂණ අවශ්‍යතාව ඉතා පහසුවෙන් සපුරා ගත හැකිය. එළවළු ව්‍යංජනවලට අමතරව සලාද, සුප් හෝ එළවළු රොටි ලෙස විවිධ ආකාරයෙන් ආහාරයට ගැනීමට යොමු වීම පවුලේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමට ඉවහල් වේ. අද දින එළවළු මිල දී ගැනීමට වැය කරන සෑම රුපියලක්ම අනාගතයේදී රෝහල් බිල් පත් සහ ඖෂධ වෙනුවෙන් වැය වන දහස් ගණනක මුදලක් ඉතිරි කර දීමකි.
සාමාන්‍යයෙන් මෙවැනි අර්බුදකාරී කාලයකින් හෝ ස්වාභාවික විපතකින් පසුව පෝෂණය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සාධක ගැන අප මීට වඩා අවධානයෙන් සහ අවධාරණයෙන් සිටිය යුතු බව තේරුම් ගත යුතුය. එම නිසා හැකි ඉක්මනින් අප කළ යුත්තේ පවුලේ පෝෂණයත් , රටේ අනාගතයත් රැක ගැනීම උදෙසා ප්‍රධාන ආහාරය වෙනුවෙන් අපේ එළවළු මල්ල පිරවීමට අවස්ථානෝචිතව කටයුතු කිරීමය.
(මූලාශ්‍ර: ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා මාර්ගෝපදේශ සහ එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ඒජන්සිය US-FDA)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd