- රු.බි. 10.2 ක වැඩිම හානිය අමුද්‍රව්‍ය සහ තොග වෙත එල්ල වෙලා
- ආදායම් අහිමිවීම් සහ යන්ත්‍රෝපකරණ හානිය සැලකියුතු මට්ටමක
- කර්මාන්ත පුනර්ජීවන අනුග්‍රාහක වැඩසටහනට (IRFP) දායක වූ සමාගම් අගයයි
- IDFPනමින් දිට්වා බලපෑ කර්මාන්ත සංවර්ධනය සඳහා නව වැඩසටහනක්
භානුක අමරසිංහ
පසුගිය වසරේ නොවැම්බර් මාසය අගදී හට ගත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්වය නිසා මෙරට නිෂ්පාදන අංශයට සිදුව ඇති හානිය රුපියල් බිලියන 33.96ක් පමණ වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එම හානිය පිළිබඳ මූලික තක්සේරුවට අනුව, මෙහිදී වැඩිම බලපෑමක් අමුද්‍රව්‍ය සහ තොග සඳහා එල්ල වී ඇති අතර, එය රුපියල් බිලියන 10.2 ක් ලෙස ගණන් බලා තිබේ. එසේම ආදායම් අහිමිවීම් සහ යන්ත්‍රෝපකරණ හානිය ද සැලකිය යුතු මට්ටමක පවතින බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
“කර්මාන්තශාලා ජලයෙන් යටවීම හේතුවෙන් යන්ත්‍රෝපකරණ අක්‍රීය වීම, නිෂ්පාදන ක්‍රියාවලිය ඇනහිටීම සහ සැපයුම් දාම බිඳ වැටීම මෙහිදී ප්‍රධාන ගැටලු ලෙස හඳුනාගෙන තිබෙනවා.”
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණු “දිට්වා” නිසා අඩපණ වූ කර්මාන්ත නඟා සිටුවීමට උරදුන් කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්තයන් ඇගයීමේ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
ඒ අනුව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) එක්ව ආරම්භ කරන ලද කර්මාන්ත පුනර්ජීවන අනුග්‍රාහක වැඩසටහන (Industry Recovery Foster Program - IRFP) යටතේ සහාය දැක් වූ පිරිස් මෙහිදී ඇගයීමට ලක්ව තිබේ.
පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ 2025 දෙසැම්බර් මස ආරම්භ කළ IRFP වැඩසටහන යටතේ, පීඩාවට පත් කර්මාන්ත 43ක් සඳහා සහාය වීමට මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක්ම අත්වැල් බැඳ ගැනීම සිදු විය.
මෙම ඇගයීමේ අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, අතිරේක ලේකම් අනෝජා හේරත් මහත්මිය, මෙම වැඩසටහ සඳහා දායකත්වය ලබාදෙමින් John Keells Holdings, Expo Lanka Holdings PLC, Nestle Lanka PLC, Unilever Sri Lanka, Toyota Lanka (Pvt) Ltd, Hayleys PLC, MAS Holdings, HEMAS Holdings PLC, Prima Group / Ceylon Agro Industries Ltd, The Diesel and Motor Engineering PLC, Brown & Company PLC, Ceylon Biscuits Ltd, Tokyo Cement, Hirdramani International Exports (Pvt) Ltd, Brandix Lanka Pvt Ltd යන ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් සහ අමාත්‍යාංශ නිලධාරීන් රැසක් එක්ව සිට ඇත.
එසේම දිට්වා අපදාවට පත් කර්මාන්ත පිළිබඳ දත්ත ගබඩාව සහ එම දත්ත රැස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙමින් කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) පිහිටුවා ගැනීමට තම ස්වේච්ඡා සාහාය ලබාදුන් Cloud Syntex (Pvt) Ltd හි තිළිණ කුරුකුලසූරිය, Floodsupport.org හි රංග දයාවංශ, eLearning.lk (Pvt) Ltd, හි සංජය ඇල්විටිගල සහ ශඝීවන් සචින්තනාදන් යන මහත්වරුන් ඇගයීමද සිදුව තිබේ.
මේ අතර, ඉදිරියේදී මෙම වැඩසටහනට අමතරව ඉහත හඳුනාගත් කර්මාන්ත සංවර්ධන කිරීමට අවශ්‍ය වැඩසටහන IDFP Industry Development Foster Program ද දියත් කිරීමට නියමිත බවත් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd