- බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවුවහොත් ලෝක ආර්ථික අර්බුදයක්
- දැනටමත් මැදපෙරදිග, ඇමෙරිකානු සහ යුරෝපා කලාපයේ උද්ධමනය ඉහළට
- බොරතෙල් මිල මෙරට ආනයන වියදම ඉහළ යෑමට සහ විදුලි මිල ඉහළ යෑමට හේතුවේවිලු
- මාස තුනකට ඇමෙරිකාවෙන්, ඇල්ජීරියාවෙන් සහ මැලේසියාවෙන් බොරතෙල් ආනයනයට ලංසු කැඳවයි
- නැව්ගාස්තු ඉහළ යෑම නිසා භාණ්ඩ ආනයන මිල සියයට 5ත් 10ක් අතර ඉහළට
- අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සංචිතයක් පවත්වාගෙන යෑමේ සූදානමක්
- මෙරට පොහොර ආනයනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් එන්නේ මැදපෙරදිගින්
භානුක අමරසිංහ
මැදපෙරදිග ගැටුම්කාරී තත්වයත් සමගින් ලෝක වෙළෙඳපොළේ ඉහළ යමින් පවතින බොර තෙල් මිල සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අවධානයක් මතුව තිබෙන බව වාර්තා වෙයි. විශේෂයෙන්ම මෙම ඉහළ යාමත් සමගින්ම ලොව රටවල් රැසකම උද්ධමනය ඉහළ ගොස් නැවත වරක් ආර්ථික අර්බුදයක් හට ගැනීමේ පෙර නිමිති පහළ වී තිබීම ඊට හේතුව වී තිබේ.
ඊයේ (08) දිනය වනවිට ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 92.63 ක් ලෙස සටහන්ව තිබූ අතර, එය සතියක් තුළ ඩොලර් 14කට වැඩි වටිනාකමකින් ඉහළ යාමකි. එසේම ඇමෙරිකානු WTI බොරතෙල් බැරලයක්ද ඩොලර් 90.90ක අගයක් සටහන් කර තිබුණි.
ඒ අනුව මෙම යුද ගැටුම් තවදුරටත් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් පවතින අවධානමත් සමගින්ම මෙම සතිය තුළදී බොහෝ විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවනු ඇති බවටද අදහස් පළ වී තිබේ.
එසේ වුවහොත් 2022 වසරේ පෙබරවාරි මාසයේදී ආරම්භ වූ යුක්රේන - රුසියා යුද ගැටුමට පසුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවන පළමු අවස්ථාව වනු ඇතැයිද වාර්තා පවසයි. එම අවස්ථාවේදී බොරතෙල් බැරලයක් ඩොලර් 130ක් බවට පත් විය.
“බොරතෙල් බැරලයක මිල කොතැනින් නතර වෙයිද කියන දේ ගැන දැන්ම අපිට අදහසක් කියන්න බැහැ. හැබැයි මේ මිල ගණන් ඉහළ යන එක අපගේ ආනයන වියදමට දැඩි ලෙස බලපානවා. ඒ වගේම විදුලිබිල සඳහා බලපෑමත් සමගින්ම එය උද්ධමනය වෙත බලපෑම් එල්ල කරනවා. මෙය රුසියා - යුක්රේන යුද ගැටුම් ආරම්භ වූ අවස්ථාවේදී අපි දැක්ක තත්වය හා සමාන අවස්ථාවක්.“ යනුවෙන් ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ශිරාන් ප්‍රනාන්දු මහතා එම මණ්ඩලය මගින් නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම ආර්ථික අර්බුදයකට මුහුණ දී නැවතත් යථාවත් වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට මෙම ගැටුම්කාරී තත්වයේ බලපෑම් ඇතිවිය හැකි අවස්ථා තුනක් පවතින බව ඒ මහතා පවසයි. “එතැනදී පළමු වඩාත් ධනාත්මක අවස්ථාව සටන් විරාමයක් හරහා මෙම ගැටුම් ඉක්මනින් ඉවර වේවි කියන දේ. දෙවැන්න සති හතරක හයක යුද ගැටුමක්. එතැනදීත් උද්ධමනය ඉහළ ගිහින් භාණ්ඩ මිල ඉහළ යෑමේ අවදානමක් තිබෙනවා. තෙවැන්න තමයි රුසියා - යුක්රේන වගේ වසර ගණනාවක් ඇදෙන යුද්ධයක්. එය ලංකාවට වගේම ලෝකයටත් හොඳ දෙයක් නොමෙයි.’’
විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම යුද ගැටුම් හේතුවෙන් අද වනවිට මැදපෙරදිග කලාපයේ මෙන්ම ඇමෙරිකාව සහ යුරෝපය ඇතුළු රටවලද උද්ධමනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දැකගත හැකිව තිබේ.
“මැදපෙරදිග කලාපයේ ඩුබායි, කටාරය, ඕමානය, සෞදි අරාබිය වගේ රටවල උද්ධමනය දැන් ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන්නේ. ආසියානු කලාපයේ පාකිස්තානයේ ඉන්ධන මිල සියයට 20 කින් පමණ ඉහළ ගිහින්. බංග්ලාදේශයේ ද්‍රව ස්වාභාවික වායු ඉන්ධන නොමැතිවීමෙන් පාරිභෝගික මිල ගණන් ඉහළ ගිහින්. යුද්ධය තවදුරටත් පැවතුණොත් ලබන සතිය වන විට මේ තත්වය ලංකාවට එන්න පුළුවන්.’’ යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වන ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති.
මේ අතර නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තුවල සිදුව ඇති ඉහළ යෑම හේතුවෙන් මේ වනවිට ආනයනික භාණ්ඩවල මිල ගණන් සියයට 5ත් 10ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතැයි භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකවරයකු පසුගියදා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණි.
කෙසේ වෙතත් එළැඹෙන උත්සව සමය වෙනුවෙන් බොහෝ අත්‍යවශ්‍ය ආහාර වර්ග දැනටමත් ඇනවුම් කර ඇති බවත්, එම භාණ්ඩ බොහෝමයක් ඉන්දියාව හරහා පැමිණීම නිසා සැපයුම් වෙත වැඩි බලපෑමක් ඇතිවීමක් හෝ මිල විශාල ලෙස ඉහළ යෑමක් සිදු වීමේ හැකියාවක් නොමැති බවද එම සංගමය පවසා තිබේ.
“හැබැයි ඉන්ධන මිලේ ඉහළ යාමත් සමගින්ම භාණ්ඩ ප්‍රවාහන ගාස්තුවල සිදුවන ඉහළ යෑමත් නිසා රට තුළ භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑමේ අවදානමක් පවතිනවා.“ මේ පිළිබඳ අදහස් දක්වන ඇතැම් පිරිස් සඳහන් කරති.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුව පසුගිය පෙබරවාරි 28 වැනිදා මෙම මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වන විට මෙරට තුළ දින 30 කට ප්‍රමාණවත් ඉන්ධන පවතින බව එහි සභාපතිවරයා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. එසේම මැදපෙරදිග කලාපය හැර වෙනත් වෙළෙඳපොළ හරහා බොරතෙල් මිලදී ගැනීමක් වෙතද යොමු වන බව එහිදී ප්‍රකාශ විය.
ඒ අනුව ඉදිරි මාස තුනක කාලයක් සඳහා ඇමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI), ඇල්ජීරියානු Saharan Blend හා මැලේසියාවේ Miri Light යන බොරතෙල් ආනයනය සඳහා ලංසු කැඳවීමට කටයුතු යොදා ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සිය linkedin සමාජ මාධ්‍ය ගිණුමේ පෙරේදා (07) සඳහන් කර තිබුණි.
මේ අතර මැදපෙරදිග යුදමය තත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ ආහාර සුරක්ෂිතතාවට සිදු විය හැකි බලපෑම කළමනාකරණය කර ගැනීමට ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ රැස්වීමක්ද පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී මූලිකවම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සංචිතයක් පවත්වාගෙන යෑමට පියවර ගන්නා බව අනාවරණය විය.
විශේෂයෙන්ම උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය, ආහාර ද්‍රව්‍යවල උච්ඡාවචනයත් සම්බන්ධවත් මෙහිදී අවධානය යොමු වී තිබේ. එහිදී ප්‍රමුඛතාවක් ලෙස සලකා ආහාර නිෂ්පාදනයට සහ ධීවර ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබා දීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට මෙහිදී අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.
මේ අතර මෙරට තුළ ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී එම රටවල් අපනයන සීමා කරනු ලැබුවහොත් එය කළමනාකරණය කරගන්නා ආකාරයද මෙහිදී අවධානය යොමු වූ බවත් රජය පවසයි.
දත්ත වාර්තා සඳහන් කරන ආකාරයට ගැටුම්වලට මැදිව ඇති මැදපෙරදිග රාජ්‍යයන්ගේ සිට සැලකිය යුතු භාණ්ඩ ප්‍රමාණයක් මෙරට වෙත ආනයනය කරයි. ඒ අතරින් පොහොර කැපී පෙනෙයි. ඒ අනුව 2024 වසරේදී පමණක් කටාරයෙන් ආනයනය කර ඇති පොහොරවල වටිනාකම ඩොලර් මිලියන 30.29 කි. එසේම ඕමානයෙන් ඩොලර් මිලියන 14.90ක් සහ බහරේනයෙන් ඩොලර් මිලියන 12.98ක් වටිනා පොහොර ආනයනය කර තිබේ. මීට අමතරව එක්සත් අරාබි එමීරයෙන් ඩොලර් මිලියන 60ක් පමණ වටිනා සීනි, රසකැවිලි සහ බේකරි නිෂ්පාදන ආනයනය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd