හෝම්ලෑන්ඩ්ස් සමාගම විසින් සංවර්ධනය කරනු ලබන තුම්මුල්ලේ “පෙන්ටාරා” ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ ප්‍රචාරය කළ බව කියන වෙබ් අඩවි සහ යූටියුබ් නාලිකා කිහිපයකට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් 2026 මාර්තු 16 දින වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

“පෙන්ටාරා” ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය කරුණු අඩංගු ලිපි සහ වීඩියෝ තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වමින්, ලියනගමගේ සිරිමලී නමැත්තියකට එරෙහිව එම වාරණ නියෝගය නිකුත් කර ඇත.

මෙම නඩුව හෝම්ලෑන්ඩ්ස් ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට්ස් පුද්ගලික සමාගම විසින් කොළඹ දිසා අධිකරණයේ DMR 279/26 යන අංකය යටතේ ගොනු කර ඇති අතර, ඒ අනුව සමාගම සහ “පෙන්ටාරා” ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රචාරය කරන ලද බව කියන අසත්‍ය, අපහාසාත්මක සහ ද්වේශසහගත ප්‍රකාශ තවදුරටත් පළකිරීම වළක්වාලීමට මෙම නියෝගය ලබා දී ඇත.

අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු අනුව, “පෙන්ටාරා” ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලු‍ නීතිමය අනුමැති සහ සහතික ලබාගෙන ඇති බවත්, රුපියල් බිලියන 110කට අධික ආර්ථික වටිනාකමකින් යුතු මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යම් පාර්ශව විසින් සැලසුම් සහගත ලෙස අපහාසාත්මක ප්‍රචාර කරමින් ඇති බවත් සඳහන් කර ඇත.

තවද, එවැනි ප්‍රචාර හේතුවෙන් ව්‍යාපෘතියට සම්බන්ධ ආයෝජකයන් සහ ගැනුම්කරුවන් අධෛර්යවත් වීමේ අවදානමක් පවතින බවත්, එමගින් විශාල ආර්ථික හානි සිදුවිය හැකි අතර, එය ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහ රටේ සමස්ත ආර්ථිකයට ද අහිතකර ලෙස බලපෑම් එල්ල කිරීමේ හැකියාවක් ඇති බවත් පැමිණිලිකරු අධිකරණයට දන්වා ඇත.

වාරණ නියෝගයට අමතරව අධිකරණය විසින් විත්තිකරුට එරෙහිව අතුරු ඉන්ජන්ෂන් තහනම් නොතිසි සහ විධානාත්මක ඉන්ජන්ෂන් නියෝග නොතිසි ද නිකුත් කර ඇත.

මෙම නඩුවේදී හෝම්ලෑන්ඩ්ස් සමාගම වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියේට්ස් නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ ෂමිත් ප්‍රනාන්දු, නාමික් නාෆාත් සහ නවෝද් රත්නසේකර යන නීතිඥවරුන් සමග ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්‍රි මහතා අධිකරණයේ පෙනී සිටියහ.