- රුපියල් මිලියන 5ක බදු ගෙවූ අයෙකුට රන් කාඩ්පතක්
- රුපියල් මිලියන 3ක බදු ගෙවූ අයෙකුට රිදී කාඩ්පතක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි තනි පුද්ගල බදු ගෙවන්නන් සඳහා වරප්‍රසාද කාඩ්පත් ක්‍රමය (Privilege card) යළිත් වරක් හඳුන්වාදීමට එම දෙපාර්තමේන්තුව සැලසුම් කර අැතැයි වාර්තා වෙයි. ඒ අනුව අදාළ පුද්ගලයා ගෙවන බදු ප්‍රමාණය අනුව රන් (Gold) සහ රිදී (Silver) ලෙස මෙම කාඩ්පත් නිකුත් කිරීමට නියමිතව තිබේ.
විශේෂයෙන්ම තනි බදු බැඳියාව තේරුම් ගනිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන පුරවැසියන් හඳුනාගැනීමට සහ අගය කිරීම සඳහා මෙම යෝජනා ක්‍රමය දැනට වසර 10කට පමණ පෙරාතුව සිට හඳුන්වාදී තිබුණු අතර, පසුව එය ක්‍රියාත්මක නොවුණි. මෙලෙස නැවතත් එම ක්‍රමය හඳුන්වාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබීම වැදගත් අවස්ථාවක් බව බදු පිළිබඳ විශ්ලේෂකයෝ පවසති.
එම දෙපාර්තමේන්තුවට අනුව මෙලෙස නිකුත් කරන වරප්‍රසාද කාඩ්පත් යෝජනා ක්‍රමයේ මූලික අරමුණු තුනකි.
ඒ අනුව තනිපුද්ගල බදුගෙවන්නන් ස්ව තක්සේරු මත ස්වෙච්ඡාවෙන් බදු ගෙවීම සඳහා දිරිමත් කිරීම, තනි පුද්ගල බදුගෙවන්නන් අතර බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සහ ඉහළ මට්ටමේ බදු ගෙවන්නන් සඳහා නිසි ගෞරවය ලැබීම තහවුරු කිරීම ඒ අතර පවතී.
මෙහිදී පෙර තක්සේරු වර්ෂයේ තනි පුද්ගල බදු ගෙවන්නන්ගේ ආදායම් බදු දායකත්වය මත පදනම්ව, අදාළ වරප්‍රසාද කාඩ්පත් නිකුත් කිරීම සිදු කරයි. ඒ අනුව රන් කාඩ්පත් සඳහා වන සුදුසුකම් ලබන්නේ පූර්ව තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 5කට සමාන හෝ ඊට වැඩි ආදායම් බද්දක් ගෙවන තනි පුද්ගල බදු ගෙවන්නන්ය. එසේම රිදී කාඩ්පත් සඳහා සුදුසුකම් ලබන්නේ පූර්ව තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 3ට සමාන හෝ ඊට වැඩි ආදායම් බද්දක් වන තනි පුද්ගල බදු ගෙවන්නන්ය.
මෙලෙස 2026 වර්ෂය සඳහා රන් හෝ රිදී වරප්‍රසාද කාඩ්පත් සඳහා ඉල්ලුම් කිරීම සඳහා වන අවසන් දිනය ලබන පෙබරවාරි 28 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. 2024/25 තක්සේරු වර්ෂය සඳහා ආදායම් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2025 දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීම ඊට හේතුවයි.
මෙහිදී තනි පුද්ගල බදු ගෙවන්නන් සඳහා නිකුත් කරන මෙම කාඩ්පත මගින් ලබා දී තිබෙන මූලික වරප්‍රසාද අතර පවතින කොමසාරිස් ජනරාල් ඇතුළු ඉහළ කළමනාකාරීත්වය ප්‍රමාදයකින් තොරව හමුවීමේ ප්‍රමුඛතාව ලබාදීම, සිය බදු සම්බන්ධ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කිරීමේ අවස්ථාව ලබාදීම, වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට වාහන ස්ටිකරයක් ලබාදීම, උපදේශන සේවා අවශ්‍ය අවස්ථාවන්හිදී උපදෙස් ලබාදීම සහ වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට විශේෂ ලාංඡනයක් සහිත අලංකාර බ්‍රෝච් එකක් පිරිනැමීම යනාදිය පවතී.
කෙසේ වෙතත් මෙම වරප්‍රසාද කාඩ්පත් හිමිකරුවන් වෙත මීට වඩා වරප්‍රසාද හිමිවිය යුතුව ඇති බවත්, ඒ හරහා වැඩි තනි පුද්ගල බදු ගෙවන්නන් පිරිසක් ආකර්ෂණය කර ගත හැකි බවත් බදු විශ්ලේෂකයෝ වැඩිදුරටත් පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd