• පළමු අදියර යටතේ කලාපීය නිෂ්පාදන විභවයන් ඉහළ නැංවීම, රැකියා බිහි කිරිම හෝ පවතින රැකියා අවස්ථා වැඩි දියුණු කිරීම, ව්‍යවසාය සඳහා සහාය වීම ආදියට අවධානය

නිමල කොඩිතුවක්කු


උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2026 සිට 2031 දක්වා වන වසර 6 ක කාලසීමාව සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 1,000 ක මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලබා දීමට නියමිත අතර, ඉන් ඇමෙරිකා ඩොලර් මිලියන 100ක් උතුරු සහ නැගෙනහිර පළාත් වල ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩ සටහන වෙනුවෙන් යොදා ගැනීමට සැලසුම් කර ඇත. එම වැඩසටහනේ පළමු අදියර යටතේ උතුරු සහ නැගෙනහිර පළාත්වල තෝරා ගත් ප්‍රදේශවල කලාපීය නිෂ්පාදන විභවයන් (සංචාරක, ධීවර ආදී) ඉහළ නැංවීම, රැකියා බිහි කිරිම හෝ පවතින රැකියා අවස්ථා වැඩි දියුණු කිරීම, ව්‍යවසාය සඳහා සහාය වීම, පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීම සහ ආයතනික සර්ව බල ගැන්වීම පිණිස යටිතල පහසුකම වැඩිදියුණු කිරීම සඳහා අවධානයක් යොමු කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලෝක බැංකුව සමග සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව සිය අමාත්‍යාංශය විසින් අනෙකුත් මූලික පියවර ගැනීමටත් ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.