නිමල කොඩිතුවක්කු


ප්‍රාථමික සත්කාර සේවා තුළ ක්‍රමවේද මත පදනම් වූ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කළමනා කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Resolve to Save Lives  ආයතනය විසින් එවකට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දෙන ලද ඇමෙරිකා ඩොලර් 304,795 ක ප්‍රදානයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා ක්‍රියාත්මක කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය තුළ අධි රුධිර පීඩනය වැළැක්වීම සහ කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා වන බහු විධ මැදිහත් වීම ‘ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2021-01-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, 2021 සිට 2024 දක්වා කාලයේ එම ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් කළුතර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක කර තිබේ. අදාළ ව්‍යාපෘතියේ ධනාත්මක ප්‍රතිඵල සැලකිල්ලට ගෙන, එම ව්‍යාපෘතිය ගාල්ල, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුළ ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත.

ඒ සඳහා ව්‍යාපෘතියෙහි මුල් අදියරයන්හි ඉතිරිව පවතින අරමුදල් සහ අතිරේක මූල්‍ය ප්‍රදාන ද සමඟ Resolve to Save Lives  ආයතනය විසින් ලබා දෙනු ලබන ඇමෙරිකා ඩොලර් 242,125 ක මුළු මූල්‍ය ප්‍රතිපාදන ප්‍රදානයක් යටතේ ‘ ප්‍රාථමික සත්කාර සේවා තුළ ක්‍රමවේද මත පදනම වූ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කළමනාකරණය කිරීම ‘ව්‍යාපෘතිය වශයෙන් නම් කරමින් ගාල්ල, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ ද ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස Resolve to Save Lives  ආයතනය සමඟ ගිවිසුමකට එළඹීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.