KALBE සිය ප්‍රධාන පෝෂණ සන්නාමය වන ඩයබිටසෝල් සමගින් එක්ව පසුගියදා පැවති විශේෂ හමුවකදී ඔවුන් සමග දිගුකාලීනව විශ්වාසයෙන් රැඳී සිටි ඩයබිටසෝල් පාරිභෝගිකයන් ඇගයීමට ලක් කළේය. මෙම විශේෂ උත්සවය කොළඹ Cinnamon Life at City of Dreams හි Celestine හි උත්සව ශාලාවේදී පැවැත්විණි.

මෙම විශේෂ අවස්ථාව සඳහා ඩයබිටසෝල් හි විශ්වාසනීය පාරිභෝගිකයන් 50 දෙනකු සහ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන නියෝජිත පිරිසක් එක්වූහ. එහිදී ප්‍රධාන වශයෙන් අවධාරණය කෙරුණේ දියවැඩියාව යනු ක්‍රියාශීලී සහ ප්‍රීතිමත් ජීවිතයක අවසානය නොවන බවයි. ඒ වෙනුවට, එය වඩාත් අවධානයෙන් සහ ශක්තිමත්ව ජීවත් වීමට ලැබෙන ආරම්භයක් බව මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම උත්සවයේ අරමුණ වූයේ, දියවැඩියාව පිළිබඳව සමාජය සිතන ආකාරය වෙනස් කර, ඒ වෙනුවට දැනුවත්භාවය, සවිබල ගැන්වීම සහ ජීවිතය විඳීම කෙරෙහි අවධානය යොමු කිරීමයි. දියවැඩියාව පාලනය කිරීම යනු ආහාර රස විඳීම හෝ අන් අය සමග සුහදව කාලය ගත කිරීමෙන් බැහැර වීම නොවන බව මෙහිදී පැමිණ සිටි සියලු‍ දෙනාට පෙන්වා දෙන ලදී.

එම උත්සවයේ ප්‍රධානතම අංගය වූයේ “සමබර ජීවන රටාව” යටතේ පැවති විද්වත් මණ්ඩල සාකච්ඡාවයි. එහිදී නිසි පෝෂණය, ධනාත්මක මානසිකත්වය සහ විනෝදයෙන් හා ක්‍රියාශීලීව සිටීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. දියවැඩියාව සමඟ ජීවත්වීම පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක කරුණු මෙන්ම පෞද්ගලික අත්දැකීම් සහිත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙදෙනෙක් මෙම සාකච්ඡාවට එක්වූහ.

Heracle Care & Wellness  හි ජ්‍යෙෂ්ඨ පෝෂණවේදිනී පාරමී වීරසිංහ මහත්මිය, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා පෝෂණය බලපාන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළාය. එහිදී සීනි සහ රසකාරක පිළිබඳ පවතින මිථ්‍යා මත බැහැර කළ ඇය, අඩු ග්ලයිසිමික් දර්ශකයක් සහිත ආහාර දෛනික ජීවිතයට වැදගත් වන ආකාරය පෙන්වා දුන්නාය. තවද, ආහාර ලේබල් නිවැරදිව කියවන ආකාරය සහ ආහාර වේලක ප්‍රමාණය පාලනය කිරීම පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ද ඇය මෙහිදී ලබා දුන්නාය.

මීට අමතරව, මනෝවිද්‍යා උපදේශිකා අංජලී බුදවත්ත ජයවර්ධන මහත්මිය දියවැඩියාව පිළිබඳ සාකච්ඡා කෙරෙන විට බොහෝ විට අවධානයට ලක් නොවන පැතිකඩක් වන නිදන්ගත සෞඛ්‍යයමය තත්වයක් පාලනය කිරීමේදී ඇතිවන මානසික සහ චිත්තවේගීය බලපෑම පිළිබඳව අදහස් දැක්වූවාය. දියවැඩියාව පාලනය කිරීමේදී ආහාර සහ ඖෂධ මෙන්ම, යහපත් මානසිකත්වය, දෛනික චර්යාව සහ සමාජයීය සහයෝගය ද ඉතා වැදගත් වන බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.